ඉපදුණු ගමන් ඉන්කියුබේටරයට දමලා: විදුලි කාන්දුවකින් හිසේ හම පිච්චිලා: හිසකේ වැවෙන්නේ නෑ

  👤  3374 readers have read this article !
By mawbima 2017-12-18

 

විදුලි කාන්දුවකින් හිස පිලිස්සී සිඟිති වියේදීම කායික වේදනා ලැබූ පල්ලේපොල හර්ෂ ලක්‍ෂාන් කවිෂ්ක ඒ හේතුවෙන් ඇතිවූ මානසික වේදනාවේ උරුමයත් සමඟ ජීවත් වන දරුවෙකි. මෙලොව එළිය දැක තිස්තුන් පැයක් ගතවීමටත් පෙර සිඟිති කවිෂ්ක දෛවයේ කුරිරු සරදම හමුවේ අසරණ විය. 2006 මැයි 01 දින මාතලේ රෝහලේදී මෙලොව එළිය දුටු කවිෂ්ක අසාමාන්‍ය තත්ත්වයක් නිසා ඉන්කියුබේටරයක රඳවා තැබීමට වෛද්‍යවරු තීරණය කළහ. මවගේ උණුසුම අහිමිකර කෘත්‍රිම උණුසුමක රැඳවූ කවිෂ්කට කුරිරු දෛවය කායික සුවය ප්‍රමාද කළේය. දෛවයේ කුරිරු සරදම හමුවේ මහ රෑ 2ට පමණ ඉන්කියුබේටරයේ විදුලි කාන්දුවකින් කවිෂ්කගේ හිස මුළුමනින්ම දැවී ගියේය.
රෝහලේ කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මකව සිඟිත්තා බේරාගත් නමුත් දැවුණු හිසට මාස කිහිපයක් තිස්සේ ප්‍රතිකාර කිරීමට සිදුවිය. 2006 වසරේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපෑ මාතලේ, පල්ලේපොල හර්ෂ ලක්‍ෂාන් කවිෂ්ක මේ වන විට ‍ෙදාළොස් හැවිරිදි දරුවෙකි. පල්ලේපොල මහාබෝධි විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලබන කවිෂ්ක එදා කායිකව වේදනා වින්ද ආකාරයෙන්ම දැන් මානසිකව වේදනා විඳිමින් සිටියි.

විදුලි කාන්දුවෙන් දැවුණු හිසේ කොටස්වල හිසකෙස් නොවැඩීම කවිෂ්කගේ මානසික වේදනාවට හේතුවී ඇත. දෙවියන්ට කන්නලව් කළද රට පුරා වෙදැදුරන් වෛද්‍යවරුන් හමුවුවද කවිෂ්කගේ හිස කෙස්වලින් ආවරණය කිරීමට නොහැකි වී ඇත.
'දාස්තර මහත්වරු කියන්නේ පිටරට ගෙන ගියොත් හොඳ කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒකට මුදල් ලක්‍ෂ ගණනින් වැය වෙයිලු. දරුවො තුන් දෙනෙක් එක්ක එදාවේල ජීවත්වෙන මට මගේ දරුවා සුවපත් කර ගැනීමට තරම් මුදලක් නැහැ. දරුවා විතරක් නෙවෙයි අපිත් දරුවාගේ මානසිකත්වය ගැන හිත, හිත නොමැරී ජීවත් වෙනවා 'හර්ෂ ලක්‍ෂාන් කවිෂ්කගේ පියා සරත් ගුණවර්ධන මහතා පැවැසුවේය.

'මගෙ කුලුඳුල් දරුවා. දරුවා මානසිකව කඩා වැටෙන මොහොතක් මොහොතක් ගානෙ මගේ පපුව දැවෙනවා. මට මගේ දරුවා සුවපත් කරගන්න කවුරුන් හෝ පිහිට වෙනවා නම්' කවිෂ්කගේ මව වන කේ.ජී. ශි්‍රයාණි දමයන්ති මහත්මිය කඳුළු සලන්නීය.
කවිෂ්ක සිඟිති වියේදීම කායික වේදනාවක උරුමය අත්කර ගත්තේය. දැන් සමනල වියද ඔහුට මානසිකව වේදනා දෙයි. ඔහු මේ වේදනාවෙන් මුදා ගැනීමට හැකි නම් එය මහත්වූ පින්කමකි.


මාතලේ - හේවා පී. කරුණාරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon