ජංගම දුරකතනයේ බැටරිය චාර්ජ් කරගන්න ගිහින් විදුලි සර වැදී මියගිය වරකාපොළ සංජීව

  👤  3943 readers have read this article !
By mawbima 2017-12-18

සිය නිවෙසේදී ජංගම දුරකතනයේ බැටරි චාර්ජ් කර ගැනීමට චාර්ජරය ප්ලග් ස්විචයට සවිකිරීමට යෑමේදී විදුලි සැර වැදී මියගිය පාසල් ශිෂ්‍යයකු පිළිබඳ ඉතා කනගාටුදායක පුවතක් වරකාපොළ පොලිස් වසමේ හුනුගලකන්ද ග්‍රාමයෙන් වාර්තා වෙයි.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, හුනුගලකන්ද ග්‍රාමයේ පදිංචිව සිටි තුල්හිරිය මහා විද්‍යාලයේ 9 ශේ්‍රණියේ අධ්‍යාපනය ලැබූ එච්.ඒ. අසංක සංජීව වීරසිංහ නමැති 14 හැවිරිදි ශිෂ්‍යයෙකි. මව, පියා, බාල සහෝදරිය සමඟ මෙම ශිෂ්‍යාද හුනුගලකන්ද ග්‍රාමයේ පැල්පතක ජීවත්ව සිට ඇති අතර පියා කුලී වැඩ කර උපයන සුළු මුදලින් සිවුදෙනා ජීවත් වෙමින් සිට ඇත.

මෙම ශිෂ්‍යාගේ පියා දිනපතා කුලී වැඩ කර උපයන මුදලින් වැඩි කොටසක් ඔහුගේ මත්පැන්වලට වියපැහැදම් කරයි. ඉතිරි සුළු මුදලින් සිවුදෙනාගේ කෑම බීම ලබා දිමට සහ දරු දෙදෙනා පාසල් යැවීමට මවට සිදුව තිබිණි. පදිංචියට ස්ථිර නිවෙසක් නැති බව හා සැමියාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දරු දෙදෙනා මව විසින් ඇගේ මාවනැල්ල පදිංචිව සිටින මවට (මිත්තණියට) මීට වසරක පමණ ඉහත භාරදී වෙනත් පුද්ගලයකු සමඟ ගොස් ඇති බව නිවෙසට ගිය අප හට කිහිපදෙනෙක් කියා සිටියා. පසුව පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසියට පැමිණිලි කළ පසුව දරු දෙදෙනා පොලිසිය භාරයට ගෙන වරකාපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයටද යොමු කෙරිණි. ඉන් අනතුරුව පරිවාසයෙන් පිරිමි දරුවා පියාටත්, ගැහැනු දරුවා මවටත් හිමි විය. යළි ගැහැනු දරුවා මව විසින් රැගෙන ගොස් මාවනැල්ලේ පදිංචිව සිටින මවට භාරදී ඇත.එදා සිට අද දක්වා දැරිය මිත්තණිය ළඟ හැදී වැඩෙමින් සිටී.

මියගොස් ඇති පිරිමි දරුවා පාසල් යමින් එමින්ද සෙසු දිනවල පියා සමඟ කුලී වැඩ කරන ස්ථානයට රැගෙන යමින්ද සිටි අතර පියා සමඟ යන එන මෙම දරුවාට ප්‍රදේශයේ ලොකු කුඩා බොහෝ පිරිසක් ආදරය කළහ. ඉගෙන ගැනීමට ඇඳුම් පැලඳුම් පාසල් උපකරණ මෙන්ම මුදල් හදල්ද දුන්හ. ඒ දරුවා කුඩා කල සිට අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව හා හැකියාව මතත් අහිංසකකම හා මුහුණේ තිබූ ප්‍රියමනාපකම නිසාත් බව මළගෙදරට යමින් එමින් සිටි බොහෝ පිරිසක් අප සමඟ කියා සිටියහ. ඉංගී්‍රසි අධ්‍යාපනයට වැඩි ඇල්මක් ඇති මෙම දරුවා පාසලේ ගුරු භවතුන් හා සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟද හිත දිනාගෙන කටයුතු කළේය.

ඉකුත් 08දා පාසල් නිවාඩුව ලැබීමත් සමඟ මෙම ශිෂ්‍යයා පියා සමඟ උදේ පාන්දරින් කුලී වැඩ කරන තැනට යමින් එමින් සිට ඇත. සුපුරුදු පරිදි ඉකුත් 14දාද මෙම ශිෂ්‍යයා පියා සමඟ අලව්වේ කුලී වැඩකට ගොස් අලව්ව නගරයට පැමිණ කුකුල් මස් හා නිවෙසට අවශ්‍ය දේවල් රැගෙන නිවෙසට පැමිණියේය. වෙළෙඳ සැලෙන් ලොකුවට කපා දී තිබූ කුකුල් මස් කැබලි මෙම ශිෂ්‍ය විසින් පියාට කුඩා කැබලිවලට කපාදී සිය ජංගම දුරකතනය චාර්ජ් කර ගැනීමට සවස 6.30ට පමණ කුස්සියෙන් නිවෙසට ගොස් ඇත. නිවෙසේ අපිළිවෙළට ඇදී තිබූ වයරක සවිකර තිබූ ප්ලග් එකට චාර්ජරය ඇතුළු කිරීමට යෑමේදී විදුලි සැර වැදී දරුවා බිමට වැටී ඇත.

පසුව එම මොහොතේ පැවැති අධික වර්ෂාව මධ්‍යයේ පියා මහ හයියෙන් කෑ ගසා විලාප දී තිබිණි. අධික වර්ෂාව හේතුවෙන් පියාගේ විලාපය කිසිවකුටත් ඇසී නොතිබුණු අතර පසුව පියා අසල්වැසි නිවෙසකට ගොස් ත්‍රිරෝද රථයක් ගෙන දරුවා වරකාපොළ රෝහල වෙත රැගෙන ගොස් තිබිණි. වරකාපොළ රෝහලේ සිටි වෛද්‍යවරු දරුවා පරීක්‍ෂාකර බලා ප්‍රකාශ කර ඇත්තේ දරුවා මියගොස් ඇති බවය. මියගිය පාසල් ශිෂ්‍යාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය විසින් සිදුකළ අතර විදුලි සැර වැදීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට වරකාපොළ හදිසි මරණ පරීක්‍ෂක විමලසිරි රාජපක්‍ෂ මහතා නිගමනය කළේය. වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් සුගත් (25749) පරීක්‍ෂණ මෙහෙයවීය. ශිෂ්‍යාගේ දේහය මොන්රෝවියාවත්ත, තුල්හිරිය පදිංචි ලොකුඅම්මාගේ නිවෙසට රැගෙන ගොස් තිබිණි.
මියගිය පාසල් ශිෂ්‍යාගේ පියා වන එච්.ඒ. නිමල්සිරි වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.

පිරිමි දරුවයි, මමයි හුනුගලකන්ද ගමේ නිවෙසේ පදිංචිව සිටියා. පාසල් නිවාඩු ලබා දුන්නට පස්සේ පුතා මට කීවා කොණ්ඩෙ කපන්න ඕන කියලා. කොණ්ඩේ කපලා හිසේ ඉරක් අඳින්න ඕනි කියලා කිව්වා. පස්සේ මම එපා කියලා කිව්වා. නෑ තාත්තේ ඉස්කෝලේ නිවාඩු නිසා ඉර ඇන්දට කමක් නෑ ඉස්කෝලේ පටන් ගන්න කොට ඉර මැකිලා යයි කියලා පුතා මට කීවා. ඊට පස්සේ පුතාට ඕනි විදියට කොණ්ඩේ කපාගෙන ආවා. තොප්පියක් අරන් දෙන්න කීවා. මම ඒකත් අරන් දුන්නා. පසුගිය 14දා මම පුතා සමඟ අලව්වේ කුලී වැඩකට ගියා. මම වැඩ කරනකම් පුතා නිකම් මං ළඟට වෙලා ඉන්නවා. දවල් 11.45ට විතර තාත්තේ ගෙනා බත් කමු කියලා කිව්වා. මම කීවා පුතේ තව කන්න වෙලා ඇවිල්ලා නෑ පස්සේ කමු කියලා. එහෙනම් තාත්තේ මම කන්නම් කියලා පුතා කෑවා. හවස වැඩ ඉවර වෙලා අලව්වට ආවා. පස්සේ තාත්තේ අද කුකුල් මස් කමු කියලා කීවා. පස්සේ මම කුකුල් මස් ග්‍රෑම් 750කුත් තවත් ගෙදරට අවශ්‍ය බඩු ටිකකුත් අරගෙන දෙන්නාම ගෙදර ආවා. ලොකුවට කපලා තිබුණු කුකුල් මස් ටික පුතා පොඩියට කැපුවා. මම හාල් ටික ළිපේ තියන්න ලෑස්ති වුණා. පුතා කුකුල් මස් ටික කපලා මට ළිපේ තියන්න කියලා ෆෝන් එක චාර්ජ් කරන්න කියලා සවස 6.30ට පමණ ගෙට ගියා. තප්පර 30ක්වත් ගියේ නෑ 'තාත්තේ' කියලා හයියෙන් කෑ ගැහුවා. පස්සේ මම 'ඵහින් බලන කොට පුතා බිම වැටිලා හිටියා. මම කෑ ගහලා පුතාට කතා කළා. ඒත් පුතා කතා කළේ නෑ. අතපය පපුව මසාජ් කළා. ඒත් පුතා කතා කළේ නෑ. පස්සේ මම පල්ලෙහාට දුවගෙන ගිහිල්ලා ත්‍රිරෝද රථයක් ගෙනල්ලා පුතා වරකාපොළ රෝහලට රැගෙන ගියා යැයි මියගිය ශිෂ්‍යාගේ පියා වැඩිදුරටත් පැවැසීය.

දමුණුපොළ
චමින්ද ජයලත්
නෙළුම්දෙණිය
පතිරත්න බණ්ඩාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon