අංක මාරුකර උත්තර ලියූ සිසුන් දෙදෙනාට ලක්ෂය බැගින් ඇප

  👤  3632 readers have read this article !
By mawbima 2017-12-18

හාලිඇළ - පියල් කිත්සිරි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අංක මාරු කරගෙන වංචනිකව පිළිතුරු සපයා ඇති සිසුන් දෙදෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කළ බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා,....මෙම සිද්ධිය පිළිබඳව විභාග කොමසාරිස්වරයාගේ උපදෙස් ලබාගෙන ලබන ජනවාරි 18 වැනිදා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලුණුගල පොලිසියට නියෝග කළේය

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලුණුගල මහා විද්‍යාලයේදී පෙනී සිට ඇති පුබුදු පුෂ්පනාත් සහ සුබ්‍රමනියම් සෞන්දරාජා යන විභාග අපේක්ෂකයන් දෙදෙනා පිළිතුරුපත් එකිනෙකාගේ විභාග අංක මාරු කර පිළිතුරු සැපයීමේ වංචනික ක්‍රියාව මත ලුණුගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙලෙස පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සැකකාර සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ලුණුගල පොලිසියේ නිලධාරීන් කියා සිටියේ ලුණුගල මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඉකුත් 14 වැනිදා එක් ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පත් එකතු කරන අවස්ථාවේ මෙම සැකකාර සිසුන් දෙදෙනා ඔවුනොවුන්ගේ විභාග අංක මාරු කර පිළිතුරු පත්වල සටහන් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

මීට පෙර තිබූ විෂයයන් සඳහාද මේ දෙදෙනා මේ ආකාරයට පිළිතුරු සපයා ඇති බවට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී කරුණු අනාවරණය වූ බව අධිකරණයේදී කියා සිටි එම පොලිස් නිලධාරීන් අන් අයකු වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇතැයිද කීය.
සිද්ධිය පිළිබඳව විභාග කොමසාරිස්වරයාට දැනුම් දී තිබේදැයි පොලිසියෙන් මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර ලුණුගල පොලිසියේ නිලධාරීන් කියා සිටියේ විභාග කොමසාරිස්වරයාට මේ පිළිබඳව දැනුම් දීමට පියවර ගත් බවයි.

පසුව සැකකාර සිසුන් දෙදෙනාගේ භාරකරුවන් අධිකරණය ඉදිරියට කැඳවූ මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා, තම දරුවන් කරන කියන දෑ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බලන ලෙස තරයේ අවවාද කර එක් සිසුවකුට රුපියල් ලක්ෂය බැගින් සිසුන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කර විභාග කොමසාරිස්වරයාගේ උපදෙස් ලබාගෙන ලබන ජනවාරි 18 වැනිදා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලුණුගල පොලිසියට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon