යෑම් ඊම් ඉවරද...?

  👤  3714 readers have read this article !
By mawbima 2017-12-17

තමුන්නාන්සේලා දෙගොල්ලන්ගේ යෑම් ඊම් ඉවරද? යනුවෙන් එක් දිනක් පාර්ලිමේන්තුවේදී විමසුවේ එවකට පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාය.

1999-2000 වර්ෂවලදී පැකේජය නමැති දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන විට පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ සිටි මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මැතිසබය හරහා ගොස් විපක්ෂයෙහි අසුන් ගත්තේය.
මේ වෙලාවේදී විවාදයට එක්වෙමින් සිටියේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාය. මෙම පිල් මාරුව දුටු වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා කතාව මඳකට නතර කළේය. පිල් මාරුව සමඟ කෑකෝ ගැසීම් ඇතිවීම නිසා මැතිසබය උණුසුම්කාරී වී තිබිණි.

එම උණුසුම්කාරී තත්ත්වය සමනය වූ සැණින් ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් දෙස බලා නානායක්කාර මහතා අපූරු ප්‍රකාශයක් කළේය.
'යෑම් ඊම් ඉවරද?' යන එම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රය තුළ අවසන් නොවන කාරණයක් බවට පත්ව තිබේ. නානායක්කාර මන්ත්‍රිවරයා එදා කළ ප්‍රකාශය දේශපාලනය ආරම්භයේ සිටම පැවත එන අතර වර්තමානයට මෙන්ම අනාගතයටද එය වලංගු වේ.

යෑම් ඊම් හෙවත් පිල් මාරු ගැන වර්තමානයේදී වැඩිපුරම කතාබහට ලක්ව තිබෙන්නේ ඡන්ද උණුසුමත් සමඟය. පසුගිය දිනවල සිදුවූ පිල් මාරු සමඟ මෙම තත්ත්වය තීව්‍ර වී තිබේ. මේ නිසා දියවන්නාවද උණුසුම් වන්නේ මෙම පිල් මාරු මැතිසබය තුළ සිදුවන නිසාය.
නමුත් ඉදිරි දින කිහිපයේදී පිල් මාරුවීම් සිදුවුවත් එය මැතිසබය තුළ සිදුනොවන්නේ පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිතව තිබෙන්නේ 2018 වසරේ ජනවාරි 23 වැනිදා වන නිසාය.

ඊට පෙර පිල් මාරුවීම් සිදු වෙනවානම් එය ජනාධිපති මන්දිරයේදී, අරලියගහ මන්දිරයේදී, නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුව කාර්යාලයේදී සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.
පළාත් පාලන මැතිවරණ උණුසුම සමඟ පිල් මාරුව ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාය. ඊට අමතරව තවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ පියංකර ජයරත්නද ඉන් පසුව තවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ දුලිප් විජේසේකර මහත්වරුන්ද ආණ්ඩුවෙන් ඒකාබද්ධ විපක්ෂයට පිල් මාරු කළහ.
මේ නිසා පසුගිය කාලය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඔළුගෙඩි ගණන 52 සිට 55 දක්වා වැඩිවිය. ඉන් එකක් යළි අඩුවූයේ අධිකරණ නියෝගයකින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියට සිය මන්ත්‍රි ධුරය අහිමි වීමයි. එම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ මහතාට හිමිවීමත් සමඟම ඒකාබද්ධ විපක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 54 දක්වා අඩුවිය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතාත් දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී ආණ්ඩුවට සහයෝගය දැක්වීමට තීරණය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දෙකක් අහිමි වූ අතර මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 52කි.
අරුන්දික ප්‍රනාන්දු, පියංකර ජයරත්න හා දුලිප් විජේසේකර යන මහත්වරුන් පැමිණීමෙන් මන්ත්‍රි ධුර

3කින් ගොඩ වැඩිකරගත් ඒකාබද්ධ විපක්ෂයට එම වැඩිවූ මන්ත්‍රි ධුර තුන යළි අහිමි වීමෙන් හිටපු තත්ත්වයටම පත්ව ඇත. එම නිසා මේ වනවිට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි ධුර සංඛ්‍යාව තුනකින් වැඩිවී තිබේ.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාරදීම එක් අදියරක් පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වූ අතර නාම යෝජනා භාරගැනීමේ අනෙක් අදියර ලබන සතියේදී ආරම්භ වීමට නියමිතයි.

එවිට යෑම් ඊම්, පිල් මාරු යළි කරළියට පැමිණීමෙන් දේශපාලන උණුසුම තවත් වැඩිවීමට පුළුවනි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී ආණ්ඩුවට සහාය ලබාදීමට සූදානමින් සිටින බවට විශාල ප්‍රචාරයක්ද මේ දිනවල පැතිරේ.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසීමක් කළ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.
"ඔය කටකතාව යන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඊයේ රෑත් මාත් එක්ක නාමයෝජනා සකස්කරන තැන හිටියා. එහෙම යන කතාවක් නම් මට නම් දැනගන්න ලැබුණේ නැහැ" කියා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු මේ මස 21 වැනිදා ආණ්ඩුවට එක්වන බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීත් යම් යම් ඉඟි පළ කෙරුණු බවටද තොරතුරු වාර්තා වේ. නමුත් ඒ කතාව ඒකාබද්ධ විපක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ නොසිතන වෙලාවක විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ කතාව කියන්නේ ආවාට ගියාට නොවන බව සමහරුන්ගේ මතය වී තිබේ.

එදා එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනෙක්ද, ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් වීරවංශ මහතා ඇතුළු සැලකිය යුතු පිරිසක්ද එක්කරගෙන ආණ්ඩුව ශක්තිමත් කළ මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයාට ආණ්ඩුවෙන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීම එතරම් අපහසු නොවන දෙයක් බව සමහරකුට උපකල්පනය කළ හැකිය.
වර්තමානයේ විධායක ජනාධිපති ධුරය සහ 2/3ක බහුතර ආණ්ඩු බලයක් තබාගෙන ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දෙකක් පමණක් ආණ්ඩුවට ලබා ගැනීම එතරම් කරුණක් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨයෝ කිහිපදෙනෙක්ම ප්‍රකාශ කළහ. රාජ්‍ය බලයක් තියාගෙන මන්ත්‍රි ධුර දෙකක් පමණක් ලබාගැනීම එතරම් දෙයක් නොවන්නේ ප්‍රබලයන් ඒ අතර නොමැති නිසා බවද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ප්‍රකාශ කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් දෙදෙනකු පැමිණීම පෙරහැරේ ආරම්භය පමණක් බවයි.
ඒකාබද්ධ විපක්ෂයට පැමිණි අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ 20ක පමණ පෝලිමක් නිසි වේලාවට ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන බවයි.
පළාත් පාලන මැතිවරණයට පෙර මෙම පිල් මාරු සියල්ල සිදුවේද? ඒ ගැන නම් තවම හරියට කියන්නට බැරිය. නමුත් එකක් කිව හැකිය. පළාත් පාලන මැතිවරණයට පෙර මෙම පිල් මාරු සිදු නොවුණත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පසු නම් දිනන පැත්තට හෝයියා සේ පිල් මාරු බොහොමයක් සිදුවනු ඇත කියාය. එම නිසා බොහෝ දෙනකු මුට්ටිය දා බලන්නේ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon