දැදිගම ජනතාව නොසන්සුන් වුණු ජලාශ අවනඩුව

  👤  3835 readers have read this article !
By mawbima 2017-12-17

දැදිගම හොලොම්බුව ප්‍රදේශයේ ජනතාව මේ දිනවල සිටින්නේ දැඩි භීතියකිනි. ඔවුහු නිරන්තරයෙන් දැදිගම රජ මහා විහාරයට එක් රැස් වෙති. ස්වාමීන් වහන්සේගෙන් විමසති. හදාගෙන යන නිවෙසේ ඉතිරි වැඩකටයුතු අවසන් කළාට කමක් නැද්දැයි විමසති. තමන්ගේ සශ්‍රීක කුඹුරු ඉඩම් සියල්ල අතහැර දමන්නට වේදැයි විමසති. මේ සියල්ල සිදුවන්නේ හොලොම්බුව ප්‍රදේශයේ බහුකාර්ය ජල ව්‍යාපෘතියක් ඉදිවේවි යැයි ඇසෙන පුවතත් සමඟිනි.
මේ කතාව ඇරඹෙන්නේ මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මංගල අය වැය ප්‍රකාශය තුළිනි. 2017 නොවැම්බර් 07 වැනි දින අමාත්‍යවරයා සිදුකළ මංගල අය වැයේ එක තැනක මෙසේ සඳහන් විය.

'ගංවතුර, නියඟය, සහ නාය යෑම් වැනි අහිතකර කාලගුණ විපර්යාසවලට අපි නිරන්තරයෙන්ම මුහුණ දෙමින් සිටිනවා. අපගේ ගං ඉවුරු සහ ගංගා පතුල් විනාශයට ගොදුරු වෙමින් තිබෙනවා.

එබැවින්, නාගරික ගංවතුර පාලනයද ඉලක්ක කරමින් දැනට ක්‍රියාත්මක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ වැඩසටහන පුළුල් කිරීමේ අවශ්‍යතාව කැලණි ගංගා ද්‍රෝණියෙන් පෙන්නුම් කරනවා. කෙටි කාලීන පියවරක් වශයෙන් ගංවතුර පාලනය කිරීම පිණිස ආරක්ෂක බැම්මක් ඒ වෙනුවෙන් ඉදිකරනු ලබනවා. ඒ සඳහා වන දීර්ඝ කාලීන පියවරක් වශයෙන් වී ඔය, නවට, හොලොම්බුව සහ රූකාසල් වැනි ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව බහුකාර්ය ජලාශ ඉදිකරනු ලබනවා. කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ වැනි ගංගාවලද මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 4.9ක් රුපියල් මිලියන 4, 900ක් අපි වෙන් කරනවා.'

මේ ප්‍රකාශයත් සමඟ ප්‍රදේශ ගණනාවක දස දහසකට වැඩි ජනතාව අතර ඇති වූයේ නොසන්සුන්තාවකි. දැදිගම රජමහා විහාරයේ දායක සභා රැස්වීමකදී මේ පිළිබඳ උද්වේගකර අයුරින් කතා බස් විය. ඒ රැස්වීමෙන් පසුව ප්‍රදේශයේ පන්සලවල ස්වාමීන් වහන්සේලා කිහිප නමක් කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට බලහත්කාරයෙන් කඩා පාත්වී මේ ජලාශය ඉදිකිරීම පිළිබඳව විමසීම් කෙරිණ. එහිදී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රිවරයා එවැනි ව්‍යාපෘතියක් සිදුනොවන බවට ප්‍රකාශ කළ බව ස්වාමීන් වහන්සේ පවසති. ඉන් අනතුරුව දායක සභාවත් සමඟ ශ්‍රීලනිපයේ ආසන සංවිධායක කීර්ති ශ්‍රී විජේතුංග මහතා සමඟ සාකච්ඡාකොට ජනතාව රැස් කෙරිණ. එහිදී ගමේ දෙදහසකට ආසන්න පිරිසක් එක් රැස් වී තිබිණ. ශ්‍රීලනිප, යූඇන්පී ආදී සියලු දේශපාලන පක්ෂවල ප්‍රදේශයේ නියෝජිතයනුත් ගලිගමුව, අරන්දර, අලවල, හොලොම්බුව, මැණික් කඩවර, ප්‍රදේශවල ජනතාවත් එක් වූහ. ඒ සාකාච්ඡා වටයෙන් පසුව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමට ජනතාවගෙන් පිරිසක් සහභාගි වූහ. ජල ව්‍යපෘතියක් සිදුවන බවට හෝ නොවන බවට මහ දිසාපතිවරයා එතැනදී පිළිතුරක් දී නොතිබිණි. දේශපාලන අධිකාරිය පවා ඒ පිළිබඳ නිසි පිළිතුරක් දී නොතිබිණි.

ඉන්පසුව ප්‍රදේශය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් හා රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ගෙන් විමසීමටද ජනතාව උත්සාහ කර තිබිණ. මේ වන විට "හොලොම්බුව ජලාශය පිටු දැකීම හා දැදිගම් පුරවරය සුරැකීමේ ජනතා ව්‍යාපාරය" නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන තිබේ. පසු අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා විසින් ජනතා නියෝජිතයන් කැඳවා තිබිණි. අමාත්‍යවරුන් දෙදෙනා සිටින තාක් මෙවැනි ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නොදෙන බවට ප්‍රකාශ කළ බව අලුත් නුවර සුමන හිමියෝ කීහ. "ඔවුන්ගේ ඇමැති ධුර හැමදාම තියෙයි කියලා අපට තීරණය කරන්න බැහැ, අපට ඕනෑ හරි උත්තරයක්.." කැබිනට් අමාත්‍යවරුන්ගේ පිළිතුරින් ජනතාව සෑහීමකට පත් වී නොමැති බව එයින් පැහැදිලි වෙයි.

කොළඹ සිට එන විට නුවර පාරේ සිට කිලෝමීටර් පහකට හයකට දුරින් නෙළුම්දෙණියෙන් හැරී දැදිගම ගමට යා හැකිය. කඳුවැටි දෙකක මැද පිහිටි ගම බැලූ බැලූ අත කොළ වර්ණයෙන් ගැවසිලාය. පැළ ගොයම කොළ පලසක් මෙන් භූමිය පුරා අෑතටම විහිදී යයි. අප එහි යන විට දහවලට ළං වෙලාය. ළා කහ පාට අව්ව ඇඟට සනීපයකි. වටපිටාව සිහිල් සෞම්‍ය ගතියක් ගෙන දෙයි. මේ ප්‍රදේශයේ ස්වාභාවික විපත් අවම ය. ස්වාභාවික ඇළ පාරවල් සහ ඔයවලින් සමන්විත ප්‍රදේශයේ ජල හිඟයෙන් පීඩාවට පත් නොවන පාරිසරික තත්ත්වයකි. සියලු අංශ අතින් ජනතාවට ජීවත් වීමට සුදුසු ප්‍රදේශයකි.මේ ජනතාවගේ ජීවිකාව වී ඇත්තේ කුඹුරු ගොවිතැනය. අනෙක් පසින් රබර් වගාවය.
දැදිගම රජමහා විහාරයේ දායක සභා සීමාව තුළ පමණක් නිවාස 1500කට වැඩි ප්‍රමාණයකි. පවුල් 16000ක් පමණ මේ ප්‍රදේශයේ ජීවත් වෙති. යම් හෙයකින් මේ ආශ්‍රිතව ජලාශයක් ඉදි වුවහොත් මැණික්කඩවර, තෙළිඇල්ල, දැදිගම, මහ පල්ලේගම, කිරිවිට, ඉහළ ලෙනගල, තුංතොට, නාරංගොඩ, බෝයගොඩ, කිරිදන, කිණිගම, දමුණුපොළ වැනි ජනාකීර්ණ මෙන්ම සශ්‍රී්‍රික ප්‍රදේශ සම්පූර්ණයෙන්ම යටවෙයි.

රූකාසල්, වී ඔය වැනි ප්‍රදේශවල යටියන්තොට, රුවන්වැල්ල, කරවනැල්ල, අරන්දර, උඩුගම, අටාල වැනි ප්‍රදේශවල ජනතාවට තම ගම්බිම් අත්හැරීමට සිදුවේ.
දැදිගම ප්‍රදේශය යනු පුරාවිද්‍යාත්මක සාධක වැඩි වශයෙන් හමු වූ ස්ථානයකි. ලෙනකඩුව රජමහා විහාරය, මැණික්කඩවර රජමහා විහාරය, දැදිගම රජමහා විහාරය, ස්ත්‍රීපුර ගල්ලෙන් විහාරය, පුරාවිද්‍යාත්ම සාධක වැඩි වශයෙන් හමු වූ ස්ථානයන්ය. එසේම පරාක්‍රමබාහු රජතුමා ඉපදුණා යැයි සැලකෙන හා පුරාවිද්‍යාත්මක භාණ්ඩ වැඩි වශයෙන් හමු වූ කොටගල වෙහෙර, සූතිගරචේතිය චෛත්‍ය, නුවර යුගයේ සිතුවම් සහිත කොණ්ඩගල පිළිමගෙය, මහවලව්ව දැදිගම සෙල්ලිපිය, නුවර යුගයට අයත් සිතුවම් සහිත ඉහළගම යකුපල්ලෙන, තුංතොට වැටදෙක ගථාර පිරිවෙන භූමිය, ගුරුගොඩ ඔය අසල හොලොම්බුව බලකොටුව, නුවර යුගයේ සිතුවම් සහිත පත්තිනි දේවාල ගොඩනැඟිල්ල, මහනුවර යුගයට අයත් ඉද්දමල්ලෙන රජමහා විහාරය, මහනුවර යුගයට අයත් වන ටැම්පිට විහාර, මැණික්කඩවර පෘතුගීසි බළකොටුව ජීවමානව පවතින අයිතිහාසික සාක්ෂි වේ. අඹලෙන වැනි ප්‍රදේශ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාක්ෂි සහිත ස්ථාන වේ.

එනම් මේ ප්‍රදේශ මෙරට මුලින්ම ජනාවාස වූ බවට සාධක සපයන්නකි. අදටද එහි ස්වාභාවික උපද්‍රව අවමය. එනම් එදා මෙදා තුර මේ ප්‍රදේශ අතුරු ආන්තරාවකින් තොරව ජීවත් වීමට සුදුසු බව තහවුරු කරන්නකි.

කැලණි ගඟ පිටාර ගැලීම නිසා සිදුවන කොළඹ ගංවතුර පාලනය කිරීමට හොලොම්බුව, රූකාසල්, වී ඔය වැනි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල නව බහුකාර්ය ජලාශ ඉදිකරන බවට යෝජනා 2018 වසර සඳහා අය වැය කතාවෙන් පැවසීම අලුයම ලූ කෙළ පිඩක් මෙන් සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය. මේ නම් කියවෙන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ වචන මරු පහරකි.
මේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් හදන්න ශක්‍යතා වාර්තාවකට තමයි ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ කියනවා. එතනින් නවතියි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ජනතාව ප්‍රශ්න කරති.
පහත් බිම් ගොඩ කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කැලණි ගං මිටියාවතේ ජනතාවට වසරක් පාසාම වාගේ ගංවතුරින් බැට කෑමට සිදුවී තිබේ. මේ තත්ත්වය එදාට වඩා අද වන විට වැඩි වන්නේ තව තවත් පහත්බිම්වල මඩ ඉඩම් ගොඩ කරමින් ගොඩනැඟිලි දිනෙන් දින තැනෙන නිසාවෙනි. දේශපාලඥනයන් ක්‍රමයට අනුව කරගෙන යනු ලබන අක්‍රමවත් සංවර්ධනයේ ප්‍රතිවිපාක අත් විඳින්නට සිදුව ඇත්තේ ගං මිටියාවත්වල ජීවත්වන දහස් සංඛ්‍යාත ජනතාවටය. ප්‍රශ්නයට උත්තරය ලෙස ඉදිරිපත් වී ඇති මේ යෝජනාව කැහි ගෑනි දී හොටු ගෑනි ගැනීමකි. පහත් බිම්වල ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට ප්‍රත්‍යුත්තරයක් ලෙස මෙම ජල යෝජනා ව්‍යාපෘතිය හරහා රටට බරක් නොවී ජීවත් වන දස දහස් ගණනකගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටීමක් සිදු කිරීම සාධාරණද? අනෙක් අතට මෙවැනි ව්‍යාපෘතියකින් ගංවතුර පාලනය කිරීමට තරම් ජල කඳක් කඳු මුදුනේ ආරක්ෂිතව තබා ගැනීම යනු යෝධ ඉන්ජිනේරුමය කාර්යයකි. එම ඉන්ජිනේරු කාර්යය සඳහා උමා ඔය ව්‍යාපෘතිය භාර දුන් ඉරානයේ පරාප් වැනි නොමේරූ සමාගමකට භාර නොදේ යැයි විශ්වාස කරන්නටද නොහැකිය.
සංවර්ධනය එපා කියන්නේ නැහැ. කැලණි ගං මිටියාවතේ ජනතාව ගංවතුරෙන් බේරාගත යුතුයි. අප කියන්නේ මේ වගේ ප්‍රදේශයක් තෝරා නොගෙන හානිය අවම ප්‍රදේශයක් තෝරා ගන්න කියලයි. ඒ අලුත්නුවර සුමන හිමිගේ හඬයි.
පිළිතුරක් නොමැති නම් සටනකට තමයි යන්න වෙන්නේ. උමා ඔය, වික්ටෝරියා, රන්දෙණිගල, ආදී අපේ රටේ මෙතෙක් කෙරුණු ව්‍යාපෘතිත් සමඟ අහිංසක මිනිස්සු තළා පෙළා විනාශ කිරීම ගැන අත්දැකීමක් තියෙන්නේ. උමා ඔය සටන තනිවම සමන්ත විද්‍යාරත්න මහත්තයා කරට අරගෙන. උමා ඔය ජනතාවගේ ප්‍රශ්නයට අද ඒ තරමට වෙනකම් උත්තරයක් නැති වෙලා. අපට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද එතකොට. සුමන හාමුදුරුවන් විමසන්නේ අපට උත්තර නැති ප්‍රශ්නයකි.
පළාත් පාලන මැතිවරණය නිසා මේ වනවිට ප්‍රශ්නය යටගසා ඇති බව ගම්වැසියන් පළ කරන තවත් අදහසකි.
මේ ජල ව්‍යපෘතිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගෙන් විමසීමටද අපි අමතක නොකළෙමු. මේ ඡන්ද කාලය නිසා විරුද්ධවාදීන් විසින් ජනතාව ඇවිස්සීමට ගෙන යන ප්‍රචාරයක් බවත් එවැනි ව්‍යාපෘතියකට කිසිදු ඉඩක් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගේ අදහසයි.
රටට අලුත් ව්‍යාපෘති අවශ්‍යයි. ජනතාව වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක විය යුතුයි. නමුත් එය ජනතාවගේ සෝ සුසුම්, මතින් මිනිස් හිස් යටකරගෙන යන සංවර්ධනයක් නොවිය යුතුය.

ජලාශයක් ඉදි වෙනවාද නැද්ද කියන තීරණය තවම ජනතාව දන්නේ නැත. එහෙත් ඔවුන් සිටින්නේ අසීමාන්තික බියකිනි. ආවේගයකිනි. ඒ පෙර කීවා සේ අපේ රටේ මෑත කාලීන ඉතිහාසයේ අත්දැකීම් නිසාවෙනි. ඉතාම මෑත කාලීන උදාහරණයක් විදිහට උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට බණ්ඩාරවෙල හා බදුල්ල ප්‍රදේශ විනාශයට ගොසිනි. බොන්නට වතුර නැති බණ්ඩාරවෙලක් ගැන අද අපට කතා කරන්නට සිදුවී ඇත්තේ ඒ නොසැලකිලිමත් හා අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් නිසාවෙනි. දේශපාලඥයන්ගේ ආත්මාර්ථකාමී මුග්ධ ක්‍රියාවන් නිසාවෙනි. ඒ පිළිබඳව පහුගිය ආණ්ඩුවට හෝ මේ ආණ්ඩුවට ගාණක් නැති බව ඔවුන්ගේ හැසිරීම්වලින්ම තේරුම්ගත හැකිය. එවැනි ආණ්ඩු සහිත රටක ගිනි පෙණෙලිවලින් හැමදාම බැට කන ජනතාවකට කණාමැදිරි එළියට බිය වෙන්නට එපා යැයි කියන්නට අපට නොහැකිය.

සටහන - රසිකා හේමමාලි
ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon