හිටිගමන් අතුරුදන් වුණු අපේ දළ ඇත්තු ඉන්නවද? මරලද?

  👤  3196 readers have read this article !
By mawbima 2017-12-17

ගතවූ සති තුනක පමණ කාලය ඇතුළත ගල්ගමුවේ දළ පූට්ටුවා ද ඇතුළුව ඇතුන් හතර දෙනකු සහ අලි දෙදෙනකු මරා දැමීමත් තවත් ඇතුන් කිහිප දෙනකුම අතුරුදන් වීමත් බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබේ.

ඇතුන් ඉතා සුළු සංඛ්‍යාවක් සිටින අපේ රටේ එක ළඟ මෙලෙස ඇතුන් කිහිප දෙනකුම ඝාතනය වීම සියලුම රටවැසියන් කම්පනයට පත්වූ සිදුවීම් මාලාවක් විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසර 2010දී සිදු කරන ලද සංගණනයට අනුව මෙරට වන අලි සහ ඇතුන් පන්දහස් අටසීයක් පමණ සිටියහ. එම අගයෙන් ඇතුන්ගේ සංඛ්‍යාව එකසිය තිහක් (130) ලෙස ගණන් බලා තිබිණි. ඇතුන් එකසිය තිහෙන් අසූවක් පමණම සිටියේ ඇත් පැටවුන්ය. ඒ අනුව 2010 වසරේදී ලංකාවේ සිටි වැඩුණු දළ ඇතුන්ගේ සංඛ්‍යාව පනහක් (50) පමණ විය. එම පනස් දෙනා අතරින්ද වැඩුණු දළ පූට්ටුවන් නැතහොත් පූට්ටු වූ දළ දැරූ ඇතුන් සිටියේ හය දෙනෙක් පමණි.

අලියකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු හැත්තෑවක් හෝ අසූවක් පමණ වේ. නමුත් අලි - මිනිස් ගැටුම් හේතුවෙන් එම වයසට ළඟා වීමට පෙර තරුණ වයසේදීම බොහොමයක් අලි ඝාතනය වේ. ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් වසරකට අපේ රටේ වන අලි දෙසීය පහනක් පමණ මිය යන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වසරකදී අලුතින් උපත ලබන අලි පැටවුන්ගේ සංඛ්‍යාව පිළිබඳව නිසි අධ්‍යයනයක් නැතත් දිනෙන් දිනම අලි සම්පත අඩුවී යන බව නම් පැහැදිලිය.
නිතර අලි මරා දැමුණත් ඇතකුගේ මරණයක් ගැන වාර්තා වන්නේ කලාතුරකිනි. එයට එක් හේතුවක් වන්නේ ඇතුන්ගේ සංඛ්‍යාව අඩු වීමයි. ගැහැනු සතුන්ට ඇතින්නියන් කියා කීවත් ඇත්තටම දළ දරන්නේ පිරිමි සතුන්ගෙනුත් ඉතා සුළු පිරිසක් පමණි. අනෙක් හේතුව මිනිසුන් ඇතකුව සම්පතක් ලෙස සැලකීමත් ඇතකුට වෙඩි තැබීමට මැළිකමක් දැක්වීමත්ය.
නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වී ඇත. පසුගිය වසර දෙක, තුන ඇතුළත දළ ඇතුන් දහයක් ‍ෙදාළහක් පමණ ඝාතනය විය. අපට සිටින හොඳින් වැඩුණු දළ සහිත පරිණත ඇතුන්ගේ සංඛ්‍යාව තිහක් හෝ තිස් පහක් වැනි සංඛ්‍යාවකට පහත වැටී ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති.

එමෙන්ම අපට සිටි දළ පූට්ටුවන් හය දෙනාගෙන් මේ වන විට ඉතිරිව සිටින්නේ තිදෙනෙක් පමණි. වලවෙ රාජා යනු උඩවලව, මත්තල, වැල්ලවාය ප්‍රදේශවල සැරිසැරූ දළ පූට්ටුවෙකි. උෟ වසර දෙකක සිටම ආගිය අතක් නැත. යාල ජාතික වනෝද්‍යානය තුළ විසූ තිලක් ද දළ පූට්ටුවෙකි. යාල තනි දළයා සමඟ සිදුකළ සටනකින් තිලක් මියගියේ මීට මාස කිහිපයකට ඉහතදීය. ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ දෙස් විදෙස් සුපතළ සද්දන්තයකු වූ ගල්ගමුවේ දළ පූට්ටුවා අපට අහිමි වූයේ සති තුනකට පමණ පෙර ඇත් දළ ජාවාරම්කරුවන්ගේ වෙඩි වරුසාවකට මැදිවීමෙනි.

දැනට ඉතිරිව සිටින දළ පූට්ටුවන් තිදෙනාගෙන් ද දෙදෙනෙක් ආගිය අතක් නැති බව පැවැසේ. කවුඩුල්ලේ මහසෙන් හෙවත් කතිර දළ පූට්ටුවා සහ යාල ගල්ගෙය ගෝනගංආර ප්‍රදේශයේ වාසය කරන අනුරාධ ලෙසින් හැඳින්වෙන දළ පූට්ටුවා ඒ දෙදෙනාය.

ඊට අමතරව වස්ගමුවේ තනි දළයාත්, වේවැලක හැඩය ගත් දළ ඇති පානම වේවැල් දළයාත් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරා රැව්පිළිරැව් දුන් ඇතුන්ගේ ඝාතන රැල්ල ආරම්භ වූයේ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීමෙන්ය. ගල්ගමුව, කහල්ලපල්ලකැලේ, මීගලෑව ප්‍රදේශවල සැරිසැරූ මේ දළ පූට්ටුවා අඩි දහයකට වඩා උසැති ඍජු දේහධාරී සද්දන්තයෙකි. අලංකාර ගමනත්, ශරීර විශාලත්වයත්, තේජාන්විත පෙනුමත් හොඳින් වැඩුණු දළ පූට්ටුවී තිබීමත් නිසා මේ සතා දෙස් විදෙස් පතළ ඇතෙක් බවට පත් විය. කිසිවකුටත් හිංසා පීඩාවක් නැති අහිංසකයකු වූ ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා බිම ඇද වැටුණු පසු සතා අවසන් හුස්ම හෙළීමටත් පෙර අමු අමුවේ දළ යුගලය කපා ගැනීමට තරම් ජාවාරම්කරුවෝ හිත්පිත් නැති තිරිසන්නු බවට පත් වූහ. මෙම ඝාතනයට සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ ග්‍රාම නිලධාරීන් තිදෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත් අපරාධය පිටුපස සිටින විහාරාධිපති හිමිනමක් තවමත් නිදැල්ලේය.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සිදුවී සති තුනක් ඇතුළත තබ්බෝව ඇතා, කැකිරාව ඇතා සහ පුත්තලම තනි දළයා මිනිසුන් අතින් ඝාතනය විය. ඒ අතරම නවගත්තේගමදී අලියකුත් තිරප්පනේදී පැටවකු සිටින ඇතින්නකුත් මරා දමා ඇති අතර ඇතින්නගේ පැටවා රැගෙන යන්නට ඇති බවට සැකයක් ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.
සති තුනක කාලයක් ඇතුළත ඇතුන් හතර දෙනකුව සහ අලි දෙදෙනකුව මරා දැමීම බරපතළ තත්ත්වයකි. මෑත ඉතිහාසයේ මෙවැනි අලි ඇතුන්ගේ ඝාතන රැල්ලක් තමන් නොදුටු බව ජේ‍යෂ්ඨ වනජීවී නිලධාරීහු සඳහන් කරති.

ඇත් දළ සහ ගජමුතු ජාවාරම දිනෙන් දින වැඩිවන බව මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යයි. ඒ අතරේම කැලෙන් අලි පැටවුන් අල්ලා අලෙවි කිරීමේ ජාවාරමද නැවත ආරම්භ වී ඇති බවද පෙනෙන්නට තිබේ.
අලි පැටවුන් අල්ලා අලෙවි කිරීමේ ජාවාරමෙහි නිරතව සිටින්නන් කොටු කර ගැනීමෙහි මෙහෙයුමක් වනජීවී සහකාර අධ්‍යක්‍ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් ආරම්භ වී ඇත.

අපට සිටින මුල් පෙළේ ඇතුන් කිහිප දෙනාටත් හැකි ඉක්මනින් ජී.පී.එස්. චන්ද්‍රිකා තාක්ෂණය ඇති රේඩියෝ කරපටි පලඳවා උන්ගේ ආරක්ෂාවට වැඩපිළිවෙළක් සකස් කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. වනජීවී නිලධාරීන්ගේ හිඟය දෙපාර්තමේන්තුවට ඇති ලොකුම ගැටලුව බවත් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ද ලබා ගනිමින් ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි. මෙම විසඳුම් සාකච්ඡාවලට සීමා නොවී වහා ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon