දෙන්නගෙම LOVE පැත්තකට විසි කරල කසාදෙන් අලුත් වුණු කෝලි - අනුෂ්කා

  👤  3747 readers have read this article !
By mawbima 2017-12-17

මාස ගණනාවක් පුරා ක්‍රිකට් ලෝලීන් මෙන්ම බොලිවුඩ් සිනමා ලෝලීන්ද මහත් විමසිල්ලකින් බලා සිටි දෙදෙනකුගේ එක්වීමක් පසුගියදා බොහොම චාමෙට ඉතාලියේදී සිදු කෙරුණා. ඒ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහය.

විරාත් ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් තරගාවලිය අතරතුර හදිස්සියේම කෙටි විවේකයක් ගත්තා. ඒ ගමන්ම අනුෂ්කාත් තමන්ගේ රඟපෑමේ කටයුතුවලින් තාවකාලික විරාමයක් ගත්තා. ඒ එක්කම ඔවුන් පිළිබඳව තිබූ කසු කුසුවලටත් පියාපත් ලැබුණා. කලක සිටම මේ දෙදෙනා විවාහ වන ආරංචිය පැතිර ගිහින් තිබුණත් කවදා කොතැනකදී එය සිදුවේදැයි ඔවුන්ගේ සමීපතමයන් පවා දැන සිටියේ නැහැ. කොහොම හරි ළඟ ළඟ වෙලාවල්වලදී අනුෂ්කා සහ විරාත් දිල්ලි ගුවන් තොටුපොළේදී දැක ගන්නට ලැබී ඇති අතර ඔවුන් ඉතාලිය බලා පිටත් වූ බවටත් මොහොතකින් මුළු ලොව පුරාම පැතිර ගියා. ඒ ඔවුන් විවාහ වීම සඳහා බවත් බොහෝ දෙනා අනුමාන කළා.

විරාත් හා අනුෂ්කා තමන්ගේ විවාහය සඳහා තෝරාගෙන තිබුණේ ඉතාලියේ ටස්කනි ප්‍රදේශයේ පිහිටි "බෝර්ගෝ ෆිනොස්ටෝ" හෝටලයයි. ලොව සුප්‍රකට ෆෝබ්ස් සඟරාව අනාවරණය කරන පරිදි නත්තල් සහ අවුරුදු සමයේ ලොව දෙවැනියට මිල අධිකම ගාස්තු සහිත හෝටලය මේ බෝර්ගෝ ෆිනොස්ටෝ හෝටලයයි. මෙහි එක් රාත්‍රියක් ගත කිරීම සඳහා අය කරන මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් නම් 32,51,385ක් පමණ වෙනවා. මෙම හෝටලය පිහිටා ඇති බෝර්ගෝ ෆිනොස්ටෝ ගම්මානය වසර 800ක් පමණ පැරැණි එකක්. මෙහි ඇත්තේ කාමර 22ක් පමණය.
විරාත් හා අනුෂ්කාගේ විවාහය පැවැති දින හෝටලයට පමණක් නොව එය පිහිටි ගම්මානයට පවා දැඩි ආරක්ෂක රැකවරණ යොදා තිබුණා. හෝටලයට ඇතුළු වීම සඳහා අවසර ලැබුණේ ආරාධනා පත් තිබූ අයට පමණයි.

මෙම විවාහ මංගලෝත්සවය සංවිධානය කොට තිබුණේ පන්ජාබ් සම්ප්‍රදායට අනුවයි. උදෑසන පවත්වන ලද මෙම උත්සවය වෘත්තිය බන්ග්රා නැටුම්වලින් අලංකාර වූ බව සඳහන්. සැ¼දෑවරුවේ අමුත්තන් සඳහා සාදයක් මනාල යුවළ විසින් පවත්වා තිබෙනවා.
ඉතාලියේ පැවැති මංගල උත්සවය සඳහා සහභාගි වී ඇත්තේ දෙදෙනාගේ සමීපතම පවුලේ ඥාතීන් සහ හිත මිතුරන් පමණයි. දෙදෙනාගේ මංගල ඇඳුම් සැලසුම් කොට ඇත්තේ සුප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පියකු වන සබ්යසාචි මුකර්ජි විසිනුයි.
විරාත් සහ අනුෂ්කා තම ක්ෂේත්‍රයේ හිත මිතුරන් සඳහා දෙසැම්බර් 21දා නව දිල්ලියේත් 26දා මුම්බායිහිදීත් උත්කර්ෂවත් ලෙසින් සාද දෙකක් පැවැත්වීමටද සැලසුම් කොට තිබෙනවා.
විරාත් සහ අනුෂ්කා මුල් වරට මුණගැසී ඇත්තේ 2013 වසරේ ෂැම්පූ රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් සඳහා රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියදීය. ඉන් අනතුරුව දෙදෙනා පිළිබඳ කසු කුසු මතුවන්නට පටන් ගත්තේ හමුවීමෙන් වසරකට පමණ පසු දෙදෙනා එක්ව පාපන්දු තරගයක් නැරඹීමට ගොස් සිටියදීය. එතැන් සිට දෙදෙනා ප්‍රසිද්ධියේ එකට සිටින අයුරු බොහෝ තැන්වලදී දැක ගන්නට ලැබිණි.
අනුෂ්කාට පෙර විරාත්ගේ පෙම් සබඳතා කීපයක් ගැනම ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. වරක් රාජ් පුරෝහිත්ගේ "සික්ස්ටීන්" චිත්‍රපටයේ රඟපෑමට පැමිණි බ්‍රසීලියානු නිළියක වන ඉසබෙල් ලෙයිටි සමඟ ඔහුගේ සමීප සබඳතාවක් තිබුණා. විරාත් සහ ඉසබෙල් සිංගප්පූරුවේ කාලය ගත කරන අයුරු බොහෝ දෙනා දැක තිබෙනවා. 2013 ඒ සබඳතාව බිඳී ගිය සැණින් තමයි ඔහු අනුෂ්කා සමඟ සබඳතාව පටන් ගෙන ඇත්තේ.

වෙළෙඳ දැන්වීමක් රූගත කිරීමකදී තමන්ට හමුවූ තමන්නා නම් නිරූපිකාවද සමඟ 2012දී විරාත් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙය බිඳී ගොස් ඇත්තේ ඉසබෙල් විරාත්ගේ ජීවිතයට ඇතුළුවීම සමඟින් බවයි තතුදත් බොහෝ දෙනා සඳහන් කරන්නේ.

අනුෂ්කා විරාත් මුණගැසීමට පෙර පෙම් සබඳතා කීපයක්ම ගොඩනඟාගෙන තිබිණි. මේ අතරින් මුලින්ම සඳහන් වන ඇගේ ප්‍රකට ආදර සම්බන්ධය ඇතිවී තිබෙන්නේ ඇය නිරූපිකාවක ලෙස කටයුතු කළ අවධියේය. ෂොහෙබ් යූසුෆ් නමැති නිරූපණ ශිල්පියා සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියා.
රන්වීර් සිං ඇගේ ජීවිතයට සමීප වුණේ ඇගේ මුල්ම චිත්‍රපටය වූ "බෑන්ඩ්බාජා බරාත්" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය. බොලිවුඩ් සිනමාවේ ඇගේ ප්‍රථම හැබෑ පෙම්වතා වූයේ රන්වීර්. ඇගේ ඊළඟ පෙම්වතා වූයේ රන්බීර් කපූර්. මීට අමතරව ෂාහිත් කපූර්, සුරේෂ් රයිනා, අර්ජුන් කපූර් සමඟත් අනුෂ්කා සබඳකම් පවත්වාගෙන ගිය බව සඳහන්.
විරාත් කෝලි කියන්නේ මේ වන විට ලෝකයේ සිටින ධනවත්ම ක්‍රීඩකයන් කීප දෙනා අතරින් කෙනෙක්. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට අධික බව සඳහන් වෙනවා. ඔහුට "ඒ" ශේ්‍රණියේ ක්‍රීඩකයකු ලෙස වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටියක දීමනාවක් ගෙවනු ලබන අතර ටෙස්ට් තරගයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 5ක්ද එක්දින තරගයක් සඳහා රුපියල් ලක්ෂ 3ක්ද ටී - 20 තරගයක් සඳහා රුපියල් ලක්ෂ 1.5ක්ද ගෙවනු ලබනවා. මීට අමතරව වෙළෙඳ දැන්වීම් ආදියෙන්ද ඔහු විශාල මුදලක් උපයනවා. ඔහු මේ වන විට සින්තෝල්, ඩියෝ, රීබොක්, ගොඩ්රිජ්, හෙඩ් ඇන්ඩ් ෂෝල් ඔර්ස් සහ නෙස්ලේ ඉන්දියා සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹී සිටිනවා.

මිල අධික මෝටර් රථවලට මහත් ළැදියාවක් දක්වන විරාත් රෙනොල්ඩ් ඔස්ටර්, අවුඩි 8, ටොයොටා ෆෝචුනර්, ටොයොටා ලිවා ඇතුළු මෝටර් රථ කීපයකම හිමිකරුවෙක්. පසුගිය අවුරුද්දේ ඔහු මුම්බායි නගරයෙන් ඉන්දීය රුපියල් කෝටි 34ක් වටිනා නිවෙසක්ද මිලදී ගනු ලැබුවා. ඒ තට්ටු ගොඩනැඟිල්ලක 35 වැනි තට්ටුවේ පිහිටි සුඛෝපභෝගීි පහසුකම්වලින් යුත් නිවෙසක්. බොහෝ විට විරාත් හා අනුෂ්කා යුවළගේ අලුත් පදිංචිය මේ තට්ටු නිවාසය වේවි කියලයි බොහෝ දෙනා පවසන්නේ.
ගැමුණු රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon