කාටවත් ඕනෑ විධියට නමන්න පුළුවන් නීති පද්ධතියක් අපේ රටේ නෑ

  👤  3562 readers have read this article !
By mawbima 2017-12-17

ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරිය ලෙස ඔබ වැඩ භාරගන්නෙ. මොකද හිතෙන්නේ?
එහෙම අලුත් දෙයක් නැහැ. නමුත් ලොකු වගකීම් ගොඩක් මේ ක්ෂේත්‍රය ගත්තම තියෙනවා. පසුගිය කාලේ 2015 ජනවාරි 8 ට පෙර අධිකරණයේ තත්ත්වය දෙස බලන විට සෑහෙන ප්‍රශ්න ගණනාවකට තුඩු දුන්නා. ඒ නිසා පොඩි බයකුත් දැනෙනවා.

අධිකරණ අමාත්‍යාංශයට දැඩි චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක ඔබ ධුරය භාරගන්නේ?
අධිකරණයට චෝදනා එල්ල වුණා කියලා මට කියන්න බෑ. මොකද ජනවාරි අටෙන් පසු අධිකරණයේ ස්වාධීනත්වය හොඳින් ආරක්ෂා වෙලා වැඩකටයුතු කරගෙන ගියා. ඒකෙදි අපිට අර නඩු ප්‍රමාදය ගැන තමයි ගැටලුවක් තිබුණෙ.

තියන බරපතළම චෝදනාව තමයි දැන් නීතිය නමනවා කියන කාරණය?
නීතිය නමනවා කියන එකෙන් මොකද්ද අර්ථකථනය කරන්නේ කියලා මට ඒ තරම් අවබෝධයක් නෑ.
කාටවත් ඕනෑ විදියට නමන්න පුළුවන් එකක් මේ රටේ නීති පද්ධතිය තුළ නැහැ. එහෙම කියපු අයගෙන් ඇහුවා නම් කොහොමද ඒ නීතිය නමන්නේ කියලා අපිටත් දැනගන්න හොඳයි.

අධිකරණය දූෂිතයි, විනිසුරුවන් දූෂිතයි කියලා ඔබේ පක්ෂයේම රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක චෝදනා කරනවා.
ඕනෑ කෙනකුට තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. අදහස් කියන කොට ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවට පුළුවන් තීරණයක් ගන්න. මොකද දූෂිතයි කිව්වා සහ ඒක වෙච්ච කාලය තුළ නම් ඒක ගැළපෙනවා. අද ඒක එහෙම කියන්න බෑ. එහෙම දූෂිතයි කියලා කියනවා නම් ඒක කරුණු කාරණා ඇතිව ඔප්පු කරන්න ඕනෑ.
හැබැයි එතුමා ඔය චෝදනාව මෑතක මාධ්‍ය ඉදිරියේ කරපු එකක්?

අධිකරණය පිළිබඳව හරියාකාර වගකීමක් නැති අය කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මට මොකුත් කියන්න බෑ. රටේ ජනතාව හැටියට අයිතියක් වගේම කතා කිරීමේ නිදහස තියෙනවා. හැබැයි එහෙම කියද්දී ඒවා ඔප්පු කරන්නත් පුළුවන් වෙන්න ඕනෑ.
රටේ දුප්පත් ජනතාවට නීතියේ පිළිසරණක් නෑ කියන ප්‍රබල චෝදනාව ඔබ කොහොමද බැහැර කරන්නේ? උදාහරණයක් විදියට මෑතකදී අඹ ගෙඩි 3ක් සම්බන්ධ සිද්ධිය?
මෙහෙමයි විවිධ නඩුවලදී විනිසුරුවන්ගෙන් විනිසුරුවරුන්ට වෙනස්. සමහර විනිසුරුවරු ඒකේ තියෙන කාරණා බලලා තමයි ඒ තීන්දු ලබා දෙන්නේ. එතකොට ඒක ඒගොල්ලෝ විසින් කරන දෙයක්නේ.

හිටපු ආණ්ඩුවේ ප්‍රභලයෙක් සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා සහ පැමිණිලි ඉදිරිපත් වුණා. මොකද ඒවට වුණේ?
ඒවා දැන් විභාග වෙමින් යනවා.
හැබැයි ඇදි ඇදී යන ස්වභාවයක් නේද පේන්න තියෙන්නේ?

බැසිල් රාජපක්ෂ නඩුව විභාග වෙමින් තියෙද්දී තමයි විභාග කරන්න දාපු විනිශ්චයකාරවරයා ඉවත් කරලා වෙන විනිශ්චයකාරවරයෙක් වෙත එය ඉදිරිපත් කරනවා කියලා තමයි අධිකරණයට ගිහින් තියෙන්නේ. නමුත් ඔය කිසිම විනිශ්චයකාරවරයෙක් මම නම් හිතන්නේ නෑ පක්ෂග්‍රාහී කියලා. සමහර වෙලාවට ඒ විනිසුරුතුමා සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් දීපු තීන්දුව දිහා බලලා බයවෙලා ඇති. රජයේ දේපළ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයකුට අනුගමනය කරන්න තියන නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ.
මිලියන 600ක සිල් රෙදි නඩුවේ ඇප ලබාදීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් තියනවා කියලද ඔය කියන්නේ?

එතැන තියෙන නීතියේ ප්‍රතිපාදන එක්ක ඒකට ඇප දිය හැකියි. හැබැයි ඇප දුන්නෙත් ඒ නඩුව තීන්දු කරපු විනිශ්චයකාරතුමානේ. එතකොට ඇපෑලක් ඉදිරිපත් කළාම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක රාජ්‍ය දේපළ සම්බන්ධ කාරණයක්නේ. ඒක ඇපෑල අහනකොට ඒ තීන්දුව සම්බන්ධයෙන් ආපහු නැවත වතාවක් අධිකරණයේ මතය ඉදිරිපත් කරයි.

මහා පරිමාණ වංචා, දූෂණ කරපු බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයද?
ඔය නඩුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරන්නට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සෑහෙන කාලයක් ගියා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට ඒ ලිපිගොනු එවලා තියනවා නඩු පැවැරීමට. ඒ එකින් එක මං හිතන්නේ තුන් දෙනෙක් විතර පාස් කරලා තමයි නඩු පවරන තැනට එන්නේ. කරුණු හරියට හොයලා සමහර විට එක්කෙනකුට අහු වෙන්නෙ නැති කරුණු ඊළඟ කෙනාට අහුවෙන්න පුළුවන්. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ අපිට ලොකු ගැටලුවක් තියනවා එතැන කාඩර් එකේ ප්‍රශ්නය.
කාඩර් එකේ ප්‍රශ්නයක් කිව්වේ සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් ඉන්නවා කියලද?

ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සහ ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියන අය එතැනින් ඉවත් වෙනවා.
නීතිපතිවරයා ඇතැම් නඩු තීන්දුවලදී අපක්ෂපාතී නෑ කියනවා.

ඕන කෙනකුට ඕන චෝදනාවක් කරන්න පුළුවන්. තිබෙන ලිපි ගොනු සහ නීතිමය කාරණා පිළිබඳ කියවලා බැලුවොත් එහෙම චෝදනාවක් නීතිපතිතුමාට ඉදිරිපත් කරන එකක් නෑ. හැබැයි නීතිපතිතුමාට වගකීමක් තියෙනවා මේවා සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. එතැන තියෙන ගැටලුකාරී ස්වභාවයත් අපි දන්නවා. ඒක වෙන්නේ එතැන තියෙන විවිධ අඩුපාඩුකම් සහිතව. ඒවා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා.
ආණ්ඩුව විශේෂ අධිකරණ 3ක් පිහිටුවීමට යනවා? මොකද්ද මේ හරහා මොනවද විශේෂයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මෙහිදී මූල්‍යමය වංචා වගේම මිනීමැරුම්, අතුරුදන් කිරීම්, දූෂණ වගේ දේවල් විශේෂයෙන් විද්‍යා ඝාතනයට වගේ ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවලා ජනපතිතුමා ඒ කටයුත්ත කඩිනම් කළා. ඒ වගේ බලයක් තමයි මේ හරහා සිදු වෙන්නේ.

එහිදී නීතිපතිවරයාට පැවරෙන බලය තිබෙන තත්ත්වයට වඩා වෙනස්ද?
එහිදී නිතිපතිතුමාට අයිතිය තියෙනවා ඉක්මනින් කඩිනමින් විසඳිය යුතු නඩු මොනවද කියලා බලලා ඒවා අග්‍රවිනිශ්චයකාරතුමාට යොමු කරලා ඒ අනුව කටයුතු කරගන යෑමේ බලය පැවැරෙනවා. විශේෂිත වූ නඩු කටයුතු සම්බන්ධයෙන් කඩිනම් තීන්දු ලබාදිය යුතු වෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) මඟින් පරීක්ෂණ අවසන් කළ පැමිණිලි 85කට නඩු වැටෙන්නෙ නැතිව පල් වෙමින් තියෙනවා. මොකද වෙන්නේ ඒවාට?
ඒකෙන් 20කට විතර මේ වන විට අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. සමහර ඒවා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන නඩුවල සමහර ඒවා පර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු සම්බන්ධයෙන්. එතකොට පහුගිය මාසේ ඉඳලා මේ වෙනකම් එක දිගට පාර්ලිමේන්තු මාසේ. ඒ නඩු කටයුතු කල් ගියා.
මේ ප්‍රමාදවීම් ගැන නීති ක්ෂේත්‍රයේ සාකච්ඡා කරලා තියෙනවාද?

අපි සාකච්ඡා කරනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු මොනවද කියලා. කඩිනමින් කරන්න ඕනෑ දේවල්, විශේෂයෙන් ඔය අධිකරණ පිහිටුවීම, විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් කට්ටිය බඳවා ගැනීම මේ වගේ ගොඩක් කටයුතු කරගෙන යනවා.
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ පැමිණිල්ලක නඩු තීන්දුවක් දෙන්න අවුරුදු 17ක් වගේ කාලයක් ගත වෙනවා. ඇතැම් වෙලාවට අසාධාරණයට පත් වුණු පාර්ශ්වකරු මියගොස් සිටින්න පුළුවන්. මේ නීති වෙනස් විය යුතු නැද්ද?

ඒකට හේතුව තමයි ජනගහනය වැඩි වීම සහ අලුතින් හඳුනාගන්න අපරාධ තියෙනවා. ඒ වගේම අපරාධවල ප්‍රමාණය වැඩිවීම ඒවත් එක්ක අපේ අධිකරණ ප්‍රමාණය හෝ විනිසුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි වී නැහැ. ඒවා වැඩි විය යුතුයි කියන තැන මං ඉන්නවා. සමහර තැන් ගත්තොත් ඒකාබද්ධ උසාවි තියනවා. සතියකට දවස් 2ක් එතැන වාඩි වෙනවා. සතියට දවස් 3ක් මහෙස්ත්‍රාත් උසාවියේ වාඩි වෙනවා. එකම විනිසුරුවා ඒ ටික කොහොමද කරගෙන යන්නේ?

ඉතින් මේ නීති වෙනස් විය යුතු නැද්ද?
අනිවාර්යෙන්ම කල්පනා කරනවා. ඒ කරුණු කාරණා හොඳින් සොයාබලා ඒ පිළිබඳ විශ්ලේෂණය කරලා මේ අවුරුද්දේ කරන්න පුළුවන් වුණේ ඉතාම පොඩි වැඩ කොටසක්. ලබන අවුරුද්දේ අපි ඒවා බොහොම හොඳින් කරුණු සොයා බලා කරන්න බලාපොරොත්තු වෙනවා. මහාධිකරණවලට විනිසුරුවරු 30ක් බඳවා ගන්නත් අපි කටයුතු කරනවනේ.
මහා පරිමාණයෙන් දේපොළ කොල්ලකෑම්වල චෝදනා තියන දේශපාලනඥයන්ගේ ෆයිල් හිරවෙලා තියෙද්දී දේශපාලනිකව පළිගන්න කිහිපදෙනකුට විතරක් නඩු පවරනවා කියලා ලොකු චෝදනාවක් ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වෙනවා?
ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ. මොකද ඔවුන්ට නඩු සම්බන්ධ චෝදනා තියනවනේ.
විමල් වීරවංශ මන්ත්‍රිවරයගෙන් තමයි මේ ප්‍රබල චෝදනාව එන්නේ?
නෑ. එයාට කියලා වෙනසක් කරන්න බෑනේ. එයා කරපු දේට එයාට මුහුණ දෙන්න වෙනවනේ.

අපිටත් කියන්න පුළුවන් ඕන දෙයක්. අපි එහෙනම් අපිට ඉතිහාසයේ සිදුවූ දේශපාලන පළිගැනීම්වලට යන්න ඕනෑ. සමහර මිනිසුන්ගේ පෞද්ගලික දේපළ ජනසතු කිරීම දක්වා සිදුවූ දේවල්. අද කොහොමද දේශපාලන පළිගැනීමක් ගැන කතා කරන්නේ. දැන් ගම්වල මිනිස්සු බොහොම නිදහසේ බොහොම හොඳින් ජීවත් වෙනවා. ඉස්සර සමෘද්ධි සහනය දුන්නෙත් පක්ෂය බලලනේ. යූ. එන්. පී. අයට සමෘද්ධියවත් දුන්නද? එහෙනම් අපිට ඒවත් කියන්න පුළුවන්නේ. මේක නීතියේ කටයුත්තක් විතරක් නෙමේ, දේශපාලනය සම්බන්ධයෙන් බෙදිලා දේශපාලනය කළේ කවුද කියලා අපි දන්නවානේ.

නීතිය සැමට සර්ව සාධාරණ වෙන්න නම් ඇමැතිවරියක් ලෙස මෙන්න මේ දේ විය යුතුයි කියලා ඔබ යම් සැලසුම් කරලා තියෙනවද?
ඒවා එහෙම එකපාර කියන්න බෑනේ. ඒවා මාධ්‍යයට කියන දේවල් නෙමේනේ.
සැලසුම් තියනවද?

සැලසුම් තියෙනවා. ඒවා මගේ වගකීමනේ. අපි යම් වගකීමක් සහිතව වැඩ කරද්දී ඒ හැමදේම මාධ්‍යයට කීමට කිසිසේත්ම අවශ්‍යතාවක් නෑ. ඒවා වෙන වෙලාවට වෙයි. එතකොට බලන්නකෝ.
අධිකරණ ඇමැතිනිය වුණාට ඔබ තවම වැඩේට බැහැලා නෑ කියලයි බොහෝ පාර්ශ්වවල චෝදනාව?
තවම අවුරුදු දෙකයිනේ. සමහරු හිතන්නේ අවුරුදු 20ක් ගිය ආණ්ඩුවක් කියලා. අවුරුදු 20ක් කරන්න ඕනෑ නපුරු, කුහක වැඩ, පළිගැනීම්, නාස්තිකාර වැඩ, දූෂිත වැඩ, හොරකම්, වංචාවල් පවුල් බලය මේ ඔක්කොම කරලා ඉවර වෙලා මේ චෝදනා කරන්නේ. කෝ අපේ පක්ෂයේ පවුල් පාලනය. දැන් ජනාධිපතිගේ පුතා පිටරට සංචාරයකට සහභාගි වුණාම කෑගහනවා.

ඉස්සර ප්ලේන් එකක් අරගෙන 300ක් විතර දාගෙන මුළු පවුලයි, කොණ්ඩ දාන එක්කෙනයි, මහත්තයාගේ අරවා කරන මේවා කරන හැමෝම අරගෙන ගියා. දැන් ඒවා මතක නෑනේ කට්ටියට. ඒවට යන්න ඒ ජනාධිපති ධුරය ඉන්න අයට වරප්‍රසාද තියෙනවා. නමුත් දැන් බලන්නේ හෙලිකොප්ටර් යානයක් කොච්චර වේලාවක්ද ගුවනේ යන්නේ දැන්? ඉස්සර එහෙම නෑනේ. පවුලේ කට්ටියට වෙන්කරපු හෙලිකොප්ටර්වලනේ ගියේ ආවේ.
තව සති 2කින් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ වාර්තාව පිටවීමට නියමිතයි. කෝප් කමිටු වාර්තාවේත්, කොමිසමේ වාර්තාවේත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා වංචාවක් සිද්ධ වෙලා කියලා. මේකට ඔබේ මැදිහත් වීම කොහොමද?

ඒක මගේ වැඩක් නෙමේනේ. ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ කොමිසමට අධිකරණ බලයක් නෑ. එතකොට කරන්න පුළුවන් මේකෙ කරුණු සොයා බලන එක විතරයි.

අධිකරණ කටයුතු ඇමැතිවරිය ලෙස කිසිදු මැදිහත් වීමක් නැද්ද එතකොට?
නෑ. කිසිදු මැදිහත් වීමක් නෑ. මැදිහත් වෙන්න කිසිම බලාපොරොත්තුවකුත් නෑ. මොකද ඒ සම්බන්ධයෙන් ගරු චිත්‍රසිරි විනිශ්චයකාරතුමාගේ සභාපතිත්වයෙන් ගරු ජනාධිපතිතුමාගේ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. කොමිෂන් සභාවේ වාර්තාව ලියන්න කාලය මදි හින්දා තමයි කාලය දීර්ඝ කළේ. ඒ වාර්තාව අනුව කරුණු හෙළිවන එක අනුව අවශ්‍ය පියවර ගනියි. හැබැයි ඉතින් තව කට්ටිය ඉන්නවා. ඕවා අද ඊයෙක නෙවෙයි 2011 ඉඳන් ඔය බැඳුම්කර සම්බන්ධ හොයන්න කියලා තියෙන්නේ.
වරදකරුවෝ කවුද කියලා හෙළිවුණාම යහපාලන ආණ්ඩුව නඩු පවරයිද?

ඒක මං දන්නේ නෑ. යහපාලන ආණ්ඩුව නෙමේනෙ නඩු පවරන්නේ නීතිපති.
නමුත් පවතින ආණ්ඩුවට චෝදනා එල්ල වෙන දේකට නඩු පවරන්නේ නැතිව කල් අදින්න පුළුවන් නේද?
එහෙම බ්රේක් කරනවා නම් අපි හරහානේ කරන්න වෙන්නේ. එහෙම කවුරුත් බ්රේක් කරන්නෙත් නෑ.
හැබැයි පැහැදිලි වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඔබත් නොදන්නවා නෙමේනේ?

නෑ. මං තවම දන්නේ නෑ. මොකද මං තවම වාර්තාව කියවලා නෑනේ. වාර්තාව ප්‍රසිද්ධ කළාට පස්සේ කියන්න වෙන්නේ නැතිව පත්තරේ දාන ඒවයි, අරයා කියන එකයි, මෙයා කියන එකයි, අහපු හරස් ප්‍රශ්නයි අල්ලාගෙන මට ඒක කියන්න බෑනේ. දැන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අධිකරණ ඇමැතිවරයා අර 2012 වෙච්ච වැලිකඩ බන්ධනාගාර සිද්ධියට කොමිසමත් පත්කළා. ඒකේ වාර්තාව තියනවා. ඒ වාර්තාවේ සම්පූර්ණයෙන්ම ඇත්තටම ඔන්න නඩුවක් පැවැරිය හැකි වෙලාව ඇවිත්. පුද්ගලයෝ ගණනාවක් මිය ගියා. විශාල හානියක් සිද්ධ වුණා. රජයට පාඩුවක් වුණා. මහා කැලැඹීමක් හිරගෙදර තුළ වුණා. හිරගෙදරට පණිවුඩයක් ගියා ඒ වාර්තාව අනුව සොයා බලා අවශ්‍ය අයට නඩු පවරනවා දැන්.

පළාත් පාලන මැතිවරණය නැවත සැරයක් කල්යයිද?
මැතිවරණය තියනවා. අපි නාම යෝජනා භාර දෙනවනේ.
සබරගමුවේ පළාත් සභා මැතිවරණය ඒකාබද්ධ විපක්ෂයට වාසි වන බව දැනගෙන කල් දැම්මා කියලා චෝදනාවක් තිබුණා?
කවුද කල් දැම්මේ? අපි මැතිවරණය කල් දාලා නෑ. මට ඉතින් චෝදනා එනවනේ. සමහර විට මගේ මූණ හොඳ නැත්නම් "අර ගෑනි ආඩම්බරයි" කියලා ඕනෑ කෙනකුට කියන්න පුළුවන්. සමහර වෙලාවට අපි කනවද, බොනවද, වැඩ කරනවද, ගෙවල්වල මොනවද කරන්නේ, අපේ පසුබිම මොකද්ද, ඒවා නොදන්න පිරිස් ඕනෑ කෙනකුට රටේ මතයක් හදන්න පුළුවන්.

මොකද්ද මේ යූ. එන්. පී. යෙන් කට්ටිය අරගෙන බලය ගොඩනඟනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කිව්ව කතාව?
එහෙම ගන්න පුළුවන් ඇති. ඒක තමයි අර අඟුණකොළපැලැස්ස සභාපතිතුමා එහෙම එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිතුමිය, වීරකුමාර දිසානායක මන්ත්‍රිතුමා ජනාධිපතිතුමා ළඟට ගිහින් තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. හෙට අනිද්දා වෙද්දී තව ලොක්කෝ එයි ජනාධිපතිතුමා ළඟට.
විදේශ සේවා ඇමැතිවරිය ලෙස විදෙස් ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා කිව්වා. කෝ දැන් ඒක?
විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ඒක අපි ඉෂ්ට කරනවා.
නමුත් ඔය කාරණාව කියලා අවුරුදු 2කටත් වැඩියි නේද?
ඒක එක පාර කරන්න බෑනේ ඒ වගේ දෙයක්.

මේ වෙද්දි මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ?
මේකට මහා භාණ්ඩාගාරය, විශ්‍රාම වැටුප් ‍ෙදාපර්තමේන්තුව, රාජ්‍ය මුදල් අංශය මේ සියල්ල එකතු වෙලා සම්බන්ධ වෙන්නේ. රටක විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කරන්න එක එක්කෙනාට අයිතියක් නෑ. ඒකේ අයිතිය තියෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට. ඒ හා සම්බන්ධයෙන් මේක අපි කරනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කළ යුතුයි. ඒකට වෙනම නීති අණ පනත් සෑදිය යුතුයි.
ඒ කියන්නේ තව සෑහෙන කාලයක් ගත වෙයිද?
ඔව්. සෑහෙන කාලයක් ගතවෙයි. මේක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න ඕනේ. මේ වෙනකොට නම් කෙටුම්පත් නීතිපති ‍ෙදාපර්තමේන්තුවට යවලා තියෙන්නේ. ඒකට නීතිපති සහතිකය ගන්න ඕනේ.

ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවක් පත් කර තිබෙනවා. විෂය භාර ඇමැතිනිය ලෙස කොහොමද මැදිහත් වීම?
මම එහි සභාපති. ඒකට මැතිවරණ කොමසාරිස්, මැතිවරණ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ හැම කෙනෙක්ම ඒකට සම්බන්ධ වෙන්න ඕනෑ. අපි සාකච්ඡා ගණනක් කරලා තිබෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා කාටද මේ ඡන්ද අයිතිය දෙන්නේ? නිකම් රට ගිහින් ඉන්න අයටද? ළමයි ගාවට ගිහින් ඉන්න අයටද? රැකියාවට ගිය අයටද? එහෙම නැත්නම් අවුරුදු 25කට විතර කලින් පිටරට ගිහින් පදිංචි වෙලා ඉන්න අයටද? දෙමළ ඩයස්පෝරාවටද? කාටද? මේක ගැටලුවක්.

අවසාන නිර්දේශයක් නැද්ද ඒ ගැන?
අපි තීරණය කරලා කියනවා විදේශයට රැකියාවක් සඳහා යන ඔවුන්ගේ උපරිම කොන්ත්‍රාත් කාලය අවුරුදු 2යි. ඒ අයට කොහොමද දෙන්නේ? ඡන්ද මධ්‍යස්ථානය කොහෙද? ඒ වගකීම කවුද භාරගන්න කියලා. ප්‍රශ්න ගණනාවක් තියනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙන අය. පිටරට ඉන්නවා. කොහොමද අපි අඳුනාගන්නේ?
විදෙස්ගත වී සිටින කාන්තාවන් හාම්පුතුන්ගෙන් බරපතළ හිංසනයන්ට ලක් වෙනවා. කාන්තාවක්, නීතිඥවරියක්, ඇමැතිවරියක් ලෙස ඔබ කොහොමද මේකට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ?

දැන් ඇණ ගහන එක තවම තියෙනවද?
ඇණ ගහන ප්‍රශ්නය අවම වුණත් තව බොහෝ හිංසන තියනවා නේද?
විවිධ ප්‍රශ්න තියෙනවා. ඔයා හොඳට මතක තියාගන්න ඔයා වුණත් ඔයාගේ ගෙදරින් බැහැර වෙලා ගිහින් තනිපංගලමේ ඉන්න කොට ඔයාට ඔළුවේ ඇති වන තත්ත්වය තමයි ඇතිවන ප්‍රශ්නය, මං කියන්නේ. හාම්පුතුන්ගේ කරදර නොවෙනවම කියලා. අපේ 100ක් ගත්තොත් දෙන්නෙකුට වගේ ප්‍රශ්න තියෙනවා. හාම්පුතුන්ගේ ප්‍රශ්නවලට වැඩිය ඒගොල්ලන්ගේ ලොකුම ප්‍රශ්නය ඒ අයට වැටුප් ලබා දන්්නේ නෑ. දැන් අවුරුදු 10,15 ගිහින් තියෙනවා වැටුප් නැතිව. අපි ඒ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ වැටුප් නැතිව එවන්න එපා කියලා. එහෙම ආපු 136 දෙනකුට අපි මැදිහත් වෙලා රුපියල් කෝටි 7ක් ලබාදීලා තියෙනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon