විල්පත්තු සංහාරයට එරෙහිව ගොඩනැඟෙන ජන පවුර

  👤  3222 readers have read this article !
By mawbima 2017-12-17

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ලංකාවේ ඇති විශාලතම වනෝද්‍යානයයි. සුවිශේෂී විල්ලු රැසක්ම ඇති මෙම වනෝද්‍යානයෙහි ජෛව විවිධත්ව වටිනාකම ඉතා ඉහළය. අපටම ආවේණික වූ ගහකොළ, සතා සිවුපාවුන් විශේෂ රැසකට රැකවරණය ලබා දෙන මෙම ජාතික වනෝද්‍යානය විනාශ වීමේ දැඩි අවදානමකට ලක් වන්නේ එහි පරිවාර වනාන්තර වූ කල්ලාරු සහ විලයත්තිකුලම් රක්ෂිතවල අක්කර 4,200ක් පමණ නව ජනාවාස පිහිටුවීම සඳහා නීති විරෝධී ලෙස කපා එළිපෙහෙළි කිරීම නිසාවෙනි.

වසර කිහිපයක සිට මෙම දැවැන්ත වන විනාශයට එරෙහිව සිදුකළ සියලු විරෝධතාවන් සහ රැස්වීම් ගඟට කැපූ ඉනි මෙන් විය. අදටත් අඛණ්ඩව සිදුවන කැලෑ එළිපෙහෙළි කිරීම්වලට නැවතීමේ තිත තැබීමට සියලුම පරිසර සංවිධාන, කලාකරුවන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන එකතු වන්නේ සොබා දහම රැක ගැනීමේ වැදගත්කම දන්නා විශාල පිරිසක් තවමත් අපේ රටේ සිටින බව පසක් කරමිනි.

පසුගිය 14දා කොළඹ විහාර මහා දේවි උද්‍යානයට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව එක හ¾ඩින් කියා සිටියේ විල්පත්තුව වන විනාශය නවතන තුරු දිවි හිමියෙන් සටන් කිරීමට තමන් සූදානම් බවයි. මෙලෙස රැස්වූ පිරිසට ගැහැනු පිරිමි බාල මහලු සියලු වයස් කාණ්ඩවල අය සිටියහ. පරිසරවේදීන්, වෘත්තිකයන්, කලාකරුවන්, සිවිල් සංවිධානද බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ආගමික පූජකවරුන්ද ඇතුළු සියල්ලන්ම පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙළ ගැසුණේ කිසිවකු නොසිතූ අයුරිනි.
විහාර මහා දේවි උද්‍යානයට රැස්වූ දහස් සංඛ්‍යාත පිරිස ඇමැතූ ජාතික පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවැසුවේ විල්පත්තුව වන විනාශය වහාම නවතා දමන ලෙසටත් වනෝද්‍යානය වටා ඇති පරිවාර වනාන්තර ජාතික වනෝද්‍යානයට එක්කර ගැසට් කරන ලෙසටත් ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවයි. එම බලපෑම එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කළ යුතු බවද එහිදී තීරණය විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ විල්පත්තුව කැපීමට මුල් වී ක්‍රියා කළ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ නඩු පැවැරිය යුතු බවද පැවැසූහ.

කපා එළිපෙහෙළි කර ඇති ප්‍රදේශවල මැද පෙරදිග රටවල් දෙකක මූල්‍ය ආධාරවලින් මේ වන විට නව නිවාස 2000ක් පමණ ඉදිකර ඇති අතර තවත් නිවාස 2000ක් පමණ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මංමාවත් කපා ඉදිකර ඇති නිවාසවලට විදුලි බලය ලබාදීමටද කටයුතු කොට ඇත.

විල්පත්තුව කපා දැමීමෙන් සිදුවන පරිසර විනාශයේ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ ජාතික ආගම් භේදයකින් තොරවයි. රටේ සොබාදහම සිංහල දෙමළ හෝ මුස්ලිම් කියා ජාතියකට ලියාදී නැත. නමුත් විල්පත්තුව වන විනාශයට එරෙහි වූවන්ට චෝදනා ආවේ සිංහල ජාතිවාදීන් විසින් මුස්ලිම් ජාතියට ද්වේශ සහගත ලෙස පහර ගසන බවයි.
නමුත් පසුගියදා (14දා) විල්පත්තුව වන විනාශයට එරෙහිව පැවැති විරෝධතා රැස්වීමට සහ දැවැන්ත පාගමනට ඉස්ලාම් පූජකවරයකුද සහභාගි වීමෙන් පරිසරවේදීන්ට අභූත චෝදනා එල්ල කළ අන්තවාදී මුස්ලිම් දේශපාලකයන්ට හොඳ අතුල් පහරක් එල්ල විය. විහාරමහා දේවි උද්‍යානයේ සිට දැවැන්ත පා ගමනකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ගමන් කළ 2000ක් පමණ වූ විරෝධතාකරුවෝ එම කාර්යාලයට විශේෂ සන්දේශයක් භාර දුන්හ. මෙය විල්පත්තුව රැක ගැනීමේ සටනෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් බවද සඳහන් කළ යුතුයි.

සපුමල් ජයසේන
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon