සිපිරි මාලය 21 දෙනකුට විභාග ශාලාවක් වුණු හැටි

  👤  3506 readers have read this article !
By mawbima 2017-12-17

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
ඒ සැඩ මනාවන් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

මෙම ආදර්ශවත් පද පේළි ඇතුළත් කවිය සඳහන්ව තිබෙන්නේ "වදන්" කවි පොතේය.මෙම සමස්ත කවියෙන්ම කිය වෙන්නේ අධ්‍යාපනය ලැබීමේ තිබෙන වැදගත්කම පිළිබඳවය. මනා අධ්‍යාපනයක් ලැබීම ලෙහෙයි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අපමණ කැපකිරීම් කළ යුතුය.
සැබැවින්ම ඉහළ අධ්‍යාපනයක් ඇති පුද්ගලයන්ට සමාජයේ තිබෙන්නේ ඉතා ඉහළ පිළිගැනීමකි. එවැනි උගත්කම් සොර සතුරන්ට පවා සොරාගත නොහැකි බව ඉහත කවියෙන් මනාව පැහැදිලි කර තිබේ.

දැන උගත් පුද්ගලයා යම් ගැටලුකාරි අවස්ථාවකදී කටයුතු කරන්නේ දුරදිග සිතා බලා ඉතා ඉවසිලිවන්තවය. ඒ නිසා ඉන් ලැබෙන ප්‍රතිඵල ගුණාත්මකය. සන්සුන්ය.
එහෙත් ඇතැම් නූගත් පුද්ගලයන් එවැනි අවස්ථාවන්හිදී ක්‍රියා කරන්නේ නොඉවසිලිවන්තවය. දුරදිග සිතීමට තරම් දැනුමක්, බුද්ධියක් ඔවුන්ට නැත. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ නොපැතූ නොසිතූ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමටය.

මෙවැනි ආවේගශීලී පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ බන්ධනාගාරගතවය. මෙරට සමස්ත බන්ධනාගාර තුළ රඳවා සිටින සිරකරුවන්ගෙන් බහුතරයක් අට ශේ‍ර්ණිය සමත්වූවෝ නොවෙති. ඒ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන මඟින් පැහැදිලි වන්නකි. ඔවුන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට පෙලඹී ඇත්තේ උසස් අධ්‍යාපනය නොමැතිවීම හේතුව නිසා බවද, ඊට දුප්පත්කමද බලපා ඇති බවද බන්ධනාගාර තුළ පසුගිය කාලයේ සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
නූගත්කම හේතුවෙන් සිදුකළ වැරදිවලින් ඔවුන් වරදකරුවන් බවට පත්ව ඇති බව හඳුනාගෙන ඇත්නම් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මඟ පෙන්වීමක් ලබාදී ඔවුන් සමාජගත කිරීමට කිසිවකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය ඉතා අගනා කටයුත්තක් මෙන්ම කල්ප කාලාන්තරයක් පලදෙන මහා පින්කමකි.

එකී මහඟු පුණ්‍යකර්මයට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අත ගසා ඇත්තේ සිරගතව සිටින තරුණ සිරකරුවන් විසි එක් දෙනකුට (21) මෙවර පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙමිනි. එකී විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකය. එම පිරිසට මෙම සිරකරුවන් විසි එක් දෙනාද අයත්ය.

මෙකී සිරකරුවන්ට විභාගය සඳහා පෙනී සිටීමට සිදුව ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක තරුණ වරදකරුවන් රඳවා සිටින "සුනීත" පාසලේ ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථාන දෙකක් තුළය. එහි සියලු අධීක්ෂණ කටයුතු සිදු වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට යටත්වය.
මෙරට දරුවන්ගේ අනාගතය තීන්දු කරන සාමාන්‍ය පෙළ වැනි පිළිගත් විභාගයකට පෙනී සිට සමත් වන්නට සුවිශාල තාප්පවලින් වටවූ නිදහසක් නැති සිරකරුවන්ට හැකියාව තිබේද යන්න පිළිබඳව බොහෝ දෙනකුට ප්‍රශ්නාර්ථයක් නැඟෙනු ඇත.

සැබවින්ම එය අපේ සිත තුළද නැඟෙන ප්‍රශ්නයකි. බන්ධනාගාරයක් තුළදී ඔවුන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ කවුද, ඉගෙනීම සඳහා නිදහස් පරිසරයක් බන්ධනාගාරය තුළ තිබේද? මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අපි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක, වටරැක බන්ධනාගාර අධිකාරි එස්.වී.එච්. ප්‍රියංකර යන මහත්වරුන්ගෙන් කරුණු විමසුවෙමු. එහිදී මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මෙවන් අදහසකි.
බන්ධනාගාරය අපාය වගේ තැනක් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒක වැරැදි අදහසක්. "සිරකරුවෝද මනුෂ්‍යයෝ" කියලා අපි හොඳට දන්නවා. ඒ නිසා අපි ඒ අයට කිසිදු ආකාරයක හිංසාවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. දක්ෂකම් තියෙන ඕනෑ අයකුට බන්ධනාගාරය තුළ සිය හැකියාවන් පෙන්වන්න ඉඩකඩ තියෙනවා. මෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සිරකරුවන් 21 දෙනෙක් පෙනී ඉන්නවා.

මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් උපුල්දෙණිය මහතාගෙන් පසු අප කරුණු විමසූවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාගෙනි.
ඒ මහතා පවසන්නේ පසුගිය වසරේ පැවැත් වුණ සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි විෂයෙන් පෙනී සිටි සිරකරුවන් 21 දෙනකුගෙන් අට දෙනකු ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූ බවත් මෙවරද වැලිකඩ බන්ධනාගාරයෙන් ඉංග්‍රීසි විෂය සඳහා සිරකරුවන් 11 දෙනකු පෙනී සිටින බවත්ය. මෙවර විභාගයට පෙනී සිටින සිරකරුවන්ගෙන් වැඩි දෙනකු මරණීය දණ්ඩනයට හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටින අයවලුන් බවද ඒ මහතා කියයි. "දැනුම බලය වේ" යන කියමනට අනුව සිරකරුවන්ට අවශ්‍ය දැනුම ලබාදී ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගේම තමාගේද එකම අදහස බව පෙන්වා දෙන ඒකනායක මහතා පවසන්නේ තමා බන්ධනාගාරය තුළ පාසලක් ආරම්භ කර ඇති බවත් සිරගත වන දැනුම හා පළපුරුද්ද තිබෙන පුද්ගලයන්ගේ සහාය ලබාගෙන එම පාසලේ අධ්‍යාපනය ලබන සිරකරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ පූර්ණ අනුමැතිය හිමිව ඇති බවත්ය.

වටරැක තරුණ වරදකරුවන් රඳවා සිටින "සුනීත" පාසලේ අධිකාරි ප්‍රියංකර මහතා පවසන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සියලුම විෂයන්වලින් රැඳවූවන් 10 දෙනකු පෙනී සිටින බවත් මෙම බන්ධනාගාරය තුළ තිබෙන පාසල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවත් ඉතා අඩු අධ්‍යාපන සුදුසුකම් තිබූ රැඳවූවන් මෙවර විභාගයට පෙනී සිටින බවත්ය.

නූගත්කම නිසා හෝ දුප්පත්කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා සිරගතව සිටින සිරකරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදී ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කරන්නට බන්ධනාගාර බලධාරීන් ගන්නා උත්සාහය පිළිබඳව සැබවින්ම අප ආඩම්බර විය යුතුය. මරණීය දණ්ඩනය ලැබ දැනට වැලිකඩ බන්ධනාගාර ගතව සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහට බන්ධනාගාරය තුළදී අධ්‍යාපනය හදාරා ශාස්ත්‍රපති විභාගයට හා දර්ශනපති විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාවූයේ එකී නිලධාරීන්ගේ මඟ පෙන්වීම මතය. එම නිලධාරීන් සියලු දෙනාට මෙරට සමස්ත ජනතාවගේම ගෞරවය හිමිවන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු රැඳවූවන්ට උසස් ප්‍රතිඵල ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.

කුමුදු උපුල් ශාන්ත

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon