රටවල් 174ක් පරද්දලා ලෝකයේ මුල් තැනට ආපු ගලේවෙල ලස්සන කොල්ලා

  👤  3399 readers have read this article !
By mawbima 2017-12-17

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ ලෝකයේ රටවල් 174ක් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂට හිමි වී තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරූපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.
මෙසේ පැරිස් නුවර පැවති නිරූපණ ශිල්පී තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේ පදිංචි ජනුක රාජපක්ෂය.
13 දින රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් පැමිණි ජනුක රාජපක්ෂ සිය ගම වූ ගලේවෙල නගරයට 14 දින පෙරවරුවේ පැමිණියේය.
ප්‍රදේශවාසීහු මෙන්ම වෙළෙඳ ප්‍රජාව එක්ව ජනුක රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් සිදු කරනු ලැබූහ. විශේෂ රථ වාහන පෙරහරකින් ගලේවෙල නගරයට කැඳවා ගෙන විත් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පිළිගැනීම විශේෂත්වයකි.

රාජපක්ෂ මහතාගේ මිතුරු මිතුරියන් ඔහුව චාම් පෙරහරකින් සිය නිවෙසට කැඳවාගෙන එනු ලැබීය. නිවසේ සිටි ඔහුගේ ආදරණීය මෑණියන් වූ රේණුකා උදයකුමාරිත් ඔහුගේ පියා වූ ව්‍යාපාරික ආර්.එම්. රාජපක්ෂ බණ්ඩාත් නිවෙසට කැන්දාගෙන යනු දැක ගැනීමට හැකිවිය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම නිරූපණ ශිල්පී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ ජනුක රාජපක්ෂ කියා සිටියේ බෙල්ජියම, කැනඩාව, ඉතාලිය, ඇමෙරිකාව ආදී රටවල් 174කින් නිරූපණ ශිල්පීන් මේ තරගය සඳහා සහභාගි වී සිටි බවය. එමෙන්ම සුදු ජාතිකයන් අතර තමන් කැපී පෙනෙන වෙනසකට ලක්වූ බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් තමන් ලොව හොඳම නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගත් අවස්ථාවේදී තමන්ට සුවිශාල වූ සතුටක් දැනුණු බව හෙතෙම සඳහන් කළේය.
වසර ගණනාවක් තිස්සේ වෙනත් රටවල් හිමිකරගත් නිරූපණ ශිල්පී ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට රටට ගෙන දීමට තමන්ට හැකියාව ලැබුණු බවත් ඒ සඳහා තමන්ගේ මව හා පියා සිදු කළ විශාල කැප කිරීම පිළිබඳව නිහතමානීව සතුටට පත්වන බවත් සඳහන් කළේය.

මෙවැනි ජාත්‍යන්තර කීර්තියක් මේ රටට අත්කර දුන් රාජපක්ෂ තරුණයාගෙන් තමන් ආ ගමන්මඟ පිළිබඳව අප විමසීමක් කළෙමු.
"ප්‍රංශයේ පැරිස් නුවර තමයි මේ ලෝකේ හොඳම නිරූපණ ශිල්පියා තෝරන තරගය පැවැත්වුණේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මට හැකියාව ලැබුණා ලංකාවට ඒ ජයග්‍රහණය අරන් දෙන්න. මේක වසරක් පාසා පැවැත්වෙන තරගාවලියක්. අනෙකුත් වසරවල හැමදාමත් වෙනත් වෙනත් ලෝකයේ දියුණු රටවල අය තමයි මෙහි ජයග්‍රහණය ලබලා තිබුණේ.
"ඇමෙරිකාව, කැනඩාව, ඉතාලිය, බෙල්ජියම ආදී ධනවත් රටවල අයත් මේ තරගයට සහභාගි වෙලා හිටියා. හැබැයි මම හිතාගෙන හිටියේ අඩුම තරමේ තුන හතර වගේ ස්ථානයක් මට හිමිවෙයි කියලා. පළමුවැනි ස්ථානය මට ලැබේවි කියලා මගේ අම්මගෙයි අප්පච්චිගෙයි ලොකු විශ්වාසයක් තිබුණා. මේ තරගයෙන් මම ජයග්‍රහණය කරයි කියලා තමයි මට කිව්වේ. අනිවාර්යයෙන්ම ඔබ ජගග්‍රහණය ලබනවා මේකට සහභාගි වෙන්න කියලා"

"රටවල් 174ක තරගකරුවන් 174 දෙනෙක් ඇවිල්ලා හිටියා. බහුතරයක් හිටියේ මේ තරගයට ඇවිල්ලා සුදු ජාතිකයෝ. මමයි තව කීප දෙනෙක් විතරයි සාමාන්‍යයෙන් අපේ තලෙළු සමක් තියෙන අය හිටියේ. මට බයකුත් තිබුණා. විදේශිකයන් එක්ක තරගයක දී මොනා වෙයිද කියලා. ඇත්තටම ප්‍රංශයේ පැරිස් නුවර මේක පැවැත්වෙන වෙලාවේ පුදුම වුණා මගේ රටේ නම කියලා කෑ ගහලා කියලා කියනකොට ඒ වෙලාවේ හිතට දැනුණු සතුට ඇත්තටම මට කියලා නිම කරන්න බැහැ. ඒක වචනවලට හරවන්න බෑ"
"දැන් ලෝකයේ හැම රටකම යාලුවො මිතුරු මිතුරියෝ ගොඩක් මට එකතු වුණා මේකෙදි. හැබැයි ඒ අය සුබ පතන්න ඉදිරිපත් වුණාම මටත් හිතාගන්න බෑ පුංචි රටකින් ගිහිල්ලා මේ වගේ ලෝකෙ රටවල් එකසිය ගාණක අය මට ඇවිල්ල සුබ පතන කොට"

"මේ නිරූපණ ශිල්පයට මම නිකම්ම තමයි යොමු වුණේ. මොකද මට ඒකට උපතින් හැකියාවක් තිබිලා කිව්වොත් නිවැරදියි"
මට ගොඩක්ම සතුට තියෙන්නේ ගලේවෙල වගේ දුෂ්කර ප්‍රදේශයක ඉපදිලා කොළඹ ගිහිල්ලා ඉගෙන ගෙන ගමේ ඉන්න අම්මගෙයි අප්පච්චිගෙයි ආශිර්වාදය මැද කවදාවත් නොගියපු පැරිස් නුවරට ගිහිල්ලා ලෝකයේ රටවල් 174ක තරගකරුවන් එක්ක ඉදිරිපත් වෙලා මේ නිරූපණ ශිල්පය පෙන්නන්න හැකියාව තිබීම. මම හිතන්නේ මම ලබපු ජයග්‍රහණයත් වාසනාවක් කියලා. ඒ වාසනාව සතුට මං මගේ අම්මා, අප්පච්චි, සහෝදරයා යහළු මිත්‍රයෝ මට උගන්නපු ගුරුවරු ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ බෙදා ගන්නවා.

ජනුක රාජපක්ෂ තරුණයාගේ ආදරණීය අප්පච්චි ආර්.එම්. රාජපක්ෂ බණ්ඩාර මහතා සිය පුතණුවන් පිළිබඳව මෙසේ කීවේය.
"ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතුණා. මොකද මට ලස්සනට අන්දන්න මල් ගවුම් දෙන්න විලාසිතා කරන්න දුවලා හිටියේ නැහැ. මට පුතාලා හතර දෙනෙක් තමයි ඉන්නේ. මං මේ හතර දෙනාටම එක හා සමානව උගන්වලා ඒ අයගේ විවිධ හැකියාවන් ඔස්සේ ජීවිතය ජය ගන්න කියලා තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම හැම තිස්සේම මම බුදු දහම අනුව ඒ අයට ජීවත්වෙන්න කියලා දෙනවා. මේ තරගයට එන්න කලිනුත් මම ජයසිරි මහා බෝධින් වහන්සේට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළා මේ ජයග්‍රහණය ලබලා දෙන්න කියලා. අපි කරන හොඳ වැඩවලින් ලබන ජයග්‍රහණයක් තමයි කියලා මේක. ගලේවෙල නගරයෙන් ගිහිල්ලා ලෝකය දිනලා එන්න මගේ පුතාට හැකියාව ලැබුණා. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා.

ඔහුගේ ආදරණීය අම්මා රේණුකා උදය කුමාරි ද අප සමඟ සිය පුතණුවන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙසේ සඳහන් කළාය.
"ලෝකයේ ඉන්න දක්ෂතම නිරූපණ ශිල්පියාගේ අම්මා වීම ගොඩක් සතුටුයි. අද මගේ පුතා ලෝකයේ ගිහිල්ලා රටට මෙවැනි කීර්තියක් අත් කරලා දුන්න කියලා ආරංචියටත් මම ගොඩක් සතුටු වුණා. අම්මා කෙනෙක් හැටියට ඒ සතුට කියල නිම කරන්න බෑ. පුංචි කාලෙ ඉඳලම මේ අයව විවිධ හැකියාවන්වලට යොමු කරන්න අපි ගොඩක් උත්සාහ කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵල අපට ඇස් පනාපිටම දකින්න තියෙනවා. ඒ නිසා මගේ දරුවා ගැන මට ආඩම්බරයි. ඒ වගේම මගේ දරුවා නිසා රටටත් ආරම්බරයයි කියලයි මම හිතන්නේ.
දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon