මිරිස්සෙන් මුහුදු ගිය ‘ටැංගා’ යාත්‍රාවෙ ස්කීපර් සුගත් දළ රළ සමඟ කළ සටන...

  👤  3490 readers have read this article !
By mawbima 2017-12-17

දෙදහස් දහසයේ ජූලි විසි දෙවැනිදා මිරිස්ස ධීවර වරායෙන් දියඹට මුදාහළ ටැංගා නම් බහුදින යාත්‍රාව සුබ මොහාතින් දියඹර මංගල්‍යයට එක් වූයේ ධීවර බෝට්ටු පවුලට තවත් සාමාජිකයකු එක් කරමිනි.

මිරිස්ස සුනන්ද මාවතේ පදිංචි ඩබ්ලිව්. පී. අමරපාල මුදලාලි මහතා එම ටැංගා බහුදින යාත්‍රාවේ අයිතිකරු විය. එදින සිට දියඹර මංගල්‍යයෙන් පසු එම යාත්‍රාවේ සේවය කළේ කේ. එච්. අජිත් ප්‍රියන්ත සහ කේ. එච්. සුගත් යන මිරිස්ස බදුගොඩ පදිංචි එකම පවුලේ අයියා මලෝ දෙදෙනා මෙන්ම ගන්දර තලල්ල පදිංචි ප්‍රභාත් කුමාර සහ නුවන් මධුශංක යන එකම පවුලේ අයියා මලෝ දෙදෙනාය. මේ සිවු දෙනා අතරට එක්වූයේ කඹුරුගමුව තල්අරඹ තාප්පවත්තේ පදිංචි දිනේෂ් ප්‍රියන්තයි. මොවුන් පස් දෙනා මවුවරුන් තිදෙනකුගේ වුවත් මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ එකම මවකගේ සහෝදරයන් විලසය. මොවුන් තෙමසක පමණ කාලයක් අෑත දියඹෙහි ධීවර රස්සාව කරගෙන ගොඩබිමට ළඟා වෙන්නේ රටක් රාජ්ජයක් දිනූ විලසිනි. ඒ ඔවුන්ගේ ජීවිතය බඳු අඹු දරුවන් තම පියා, තම ස්වාමිපුරුෂයා එනතෙක් මහ මුහුද දෙස බලා ඉන්නා බව ඔවුන් හොඳින් දන්නා බැවිනි.
පෙර මෙන් හුරුලෙස මෙම ධීවර සහෝදරයන් පස්දෙනාට තම අඹු දරුවන්ගෙන් වෙන්වී ඔවුන්ගේ ජීවිත ජීවත් කරවන්නට මහ මුහුද සමඟ පොර බදන්නට තවත් දිනක් උදාවිය.

ඒ පසුගිය ඔක්තෝබර් මස දහවැනිදාය. මසක පමණ කාලයක් තම දුවා දරුවන් සමඟ ජීවිතය ගෙවූ මේ තාත්තලා පස් දෙනාම ගොඩබිමට තාවකාලිකව සමුදී එදා උදෑසනම ටැංගා නම් බහුදින යාත්‍රාවෙන් අෑත දියඹට ඇදෙන්නට වූහ. මෙලෙස පිටත් වූ ඔවුන් දින හතළිස් අටක් පුරා ධීවර කර්මාන්තයේ නිරත වූයේ තවත් දින එකොළහකින් නැවත ගොඩබිමට ඒමේ අභිලාෂයෙනි. දිනය දෙදහස් දහහතේ නොවැම්බර් විසි නවවැනිදාය. සතර දෙසින් කළු කරගෙන වසින මහ වැසි මැද්දේ හමා ආ සුළි කුණාටුව ඔවුන්ට එතරම් වෙනසක් නොවීය. මුහුදු රස්සාවට ගිය දා පටන් ඔවුන්ට ජීවිතයේ අත් විඳින්නට ලැබුණේ කරිජ්ජා රශ්මියෙන් වේළී ගිය තම ශරීරවලට ගලා එන දැඩි සුළඟය. එය ඔවුන්ගේ ගත සුවපත් කරයි. කරිජ්ජා රශ්මියෙන් දැවි දැවී වේළෙන ශරීරවලට දැවටෙන සුළඟ ඔවුන්ගේ මිතුරකු වැනිය. එහෙත් එදා හමා ආ දැඩි සුළි කුණාටුවට මුහුණ දෙන්නට නම් යාත්‍රාවේ නියමු සුගත්ට නොහැකි විය. යාත්‍රාවේ ගමන් කරන අනෙක් හතරදෙනාට මෙන්ම යාත්‍රාව අයිති අමරපාල මුදලාලිටත් සුගත් තරම් විශ්වාසවන්ත තවත් 'ස්කීපර්' කෙනකු නැති තරම්ය.

මන්ද ඔහු පාසල් වියේදීම මහ මුහුද සමඟ සටන් කර මහ මුහුදට දෙවැනි නොවූ හෙයිනි. එහෙත් එදා සුගත් පරදා මහ රළ ජය ගන්නට වූයේ සුගත් පැදවූ බෝට්ටුව පාලනය කරගත නොහැකිව රළ පහරට හසු වූ බැවිනි. හමා ආ මහ රළ සුගත් ඇතුළු පස් දෙනා ගමන් කළ බෝට්ටුවේ වීදුරු කුඩු කරන්නට විය. පැයකට අධික කාලයක් බෝට්ටුව පෙරළෙන්නට නොදී බේරා ගැනීමට සුගත් නොගත් උත්සාහයක් නැති තරම්ය. රාත්‍රි ‍ෙදාළහ පසුවෙන්නත් කලින් බෝට්ටුව බේරා ගැනීමේ සටනින් සුගත් පරාජය විය. ඊළඟ රළ පහර වැදුණේ බෝට්ටුව සම්පූර්ණයෙන්ම මුණින් අතට පෙරළමින්ය. එහි ගමන් ගත් සගයෝ පස්දෙනා මුහුද මැද මහ කළුවරේ ජීවිතය රැක ගැනීමේ සටනේ යෙදුණහ. ඔවුන්ට නොපෙනෙන දෙවියන් සිහිවන්නට පෙර එදා නිවෙසින් පිටත්වන විට සතුටින් බලාසිටි තම හයක් හතරක් නොතේරෙන දුවා දරුවන් සිහිවන්නට විය. තම පියා රස්සාවේ ගිහින් ආපසු ඔවුන්ගේ ජීවිත සුන්දර වන බව එම දරුවන් දැන සිටියේ අත්දැකීමෙනි. තමන්ට අවශ්‍ය සෙල්ලම් බඩු, රස බොජුන් ගලා එන්නේ පියා රස්සාවේ ගිහින් ගෙදර ආවාම පමණි. එසේම දෙනෙතේ ගලන කඳුළු මැද්දෙන් තම බිරිය සුසුම් හෙළා බලා සිටින්නේ තම ස්වාමිපුරුෂයන් නැවත එන්නේ කවදාදැයි සිතා දෙවියන්ට කන්නලව් කරන විලසින්ය.

මේ අඹු දරුවන් සිහිවූ ධීවරයන් පස්දෙනාට දෙවියන් සිහිවූයේ දෙවියන් හැර තම ජීවිත බේරා ගැනීමට වෙනත් සමතකු නොමැති හෙයිනි. මහ රාත්‍රිය පුරා තම ජීවිත අදින් අවසන් වන බව දැන සිටියත් ඔවුහු මේ රළ සමඟ පොර බැද පෙරළුණු බෝට්ටුවේ එල්ලෙන්නට වූහ. මේ ආකාරයට මහ සයුර මැද අතරමං වූ මේ පියවරුන් පස් දෙනාටම මහ කළුවර පිස දමා පසුදින එළිවන්නට විය. සූර්යාලෝකය වැටෙත්ම ඔවුන්ට පෙනී ගියේ තිදෙනකු පෙරළුණු බෝට්ටුවේ මතු පිටට ගොඩවී ඇතත් තවත් දෙදෙනකු ජලයේ පිහිනා බෝට්ටුව දෙසට ඇදීමට වෑයම් කරන බවයි. ගතවූයේ නිමේෂයකි. ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් ගෙනෙන්නට විය. පෙරළුණු බෝට්ටුවට සැතපුමක් පමණ අෑතින් විශාල නෞකාවක් ඇදෙන්නට විය. එය දුටු මොවුන් විලාප දුන්නද එය ඇසෙන මානයක නොවූ හෙයින් තෙත් බරිත වූ තමන්ගේ ඇඳුම් ගලවා වනන්නට විය. සියලු බලාපොරොත්තු බිඳ දමා එම නෞකාව අෑතට ඇදී ගියේය. විනාඩි විස්සක් පමණ ගතවී එම නැව බෝට්ටුව දෙසට පැමිණෙමින් තිබිණි. ඊට හේතුවී ඇත්තේ එම නෞකාව හැරවීම සඳහා තවත් මුහුදු සැතපුම් පහක් පමණ ඉදිරියට ධාවනය වූ නිසාය. මිරිස්ස ධීවර වරායේ සිට මුහුදු සැතපුම් දෙසීයක් අෑතින් මේ අතරමංවූ ටැංගාට උදවු කරන්නට අහඹු ලෙස මුණ ගැසුණේ ඉරාන පෞද්ගලික නාවුක සමාගමකට අයත් නෝ-සැරී නම් නෞකාවයි. (ව්ර්ණී-ඉඡ්අඡ්ඡ්) මිනිස් ගුණ දහමෙන් පිරුණු මේ නාවිකයන් සුගත් ඇතුළු පස් දෙනා බේරා ගැනීමේ සටනට එක්වූයේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හොඳින් අවබෝධ කරගත් මිනිසුන් පිරිසක් වූ නිසාවෙනි. පැය දෙකක ජීවිත රැක ගැනීමේ මහ සටනකින් පසු ටැංගා යාත්‍රාවේ ගමන් කළ පස්දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට නෝ-සැරී නෞකාවේ කාර්ය මණ්ඩලයට හැකිවිය. එම ත්‍රාසජනක අත්දැකීම ස්කීපර් සුගත් මෙසේ පැවැසීය.

මට ධීවර කර්මාන්තය වගේම බෝට්ටු ගෙනියලා හොඳට පුරුදුයි. ඕනෑතරම් මහ රළට මුහුණ දීලා තියෙනවා. ඒත් එදා ඒ සුළි කුණාටුවෙන් බේරෙන්න බැරිවුණා. එක පාරටම ආ රළ පහර බෝට්ටුවේ වීදුරු ජනේල කුඩු කළා. බෝට්ටුව සම්පූර්ණයෙන්ම පෙරළුණා. අපි ඔක්කොම වතුරට වැටුණා. මට නම් සිහිවුණේ ගෙදර ඉන්න දුවයි පුතයි. මොන දෙවියන්ට කියන්නද. ඇස් දෙකට කඳුළු ආවා. අපේ ජීවිත අදින් ඉවර බව අපිට වැටහුණා. මොනවා කරන්නද. අපි පෙරළුණු බෝට්ටුව අසලට යන්නට උත්සාහ කළා. රාත්‍රි එකොළහට විතර තමයි පෙරළුණේ. මහ රෑ කිසිවක් පෙනුණේ නෑ. අපේ ගාවට පාවෙලා ආපු පෙරළුණු බෝට්ටුවේ අපි එල්ලිලා උදේ වෙනකම් හිටියා. අපිව බේරගන්න උඩ ඉන්න දෙවියන් හැර වෙන කාටවත් බෑ. මෙහෙම විලාප ගසා රාත්‍රිය ගෙවී ගියා. උදේ හතට විතර තමයි අපිට පෙනෙන දුරකින් නැවක් ගියේ. අපි විලාප ගැහුවා බේරගන්න කියා. නැව නතර නොකර ගියා. ඊට පසු විනාඩි විස්සකින් විතර නැව හරවාගෙන නැවතත් ආවා. ඇවිත් අපිව බේර ගත්තා. ඒ නැවේ හිටපු අය හරිම කරුණාවන්තයි. අපිට ප්‍රතිකාර කළා. කන්න බොන්න දුන්නා. අපිට හරියට ඒ අය සැලකුවා. එහෙම සලකලා අපිව බේරගත්ත ඒ අයට ඒ රටට ස්තූති කරල ලිපියක් යවන්න කියල මම අපේ ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා යැයි ඔහු පැවැසීය.

තම මල්ලී පවසන ඒ බිහිසුණු කතාවට එක්වුණේ කේ. එච්. අජිත් කුමාර ඔහුගේ වැඩිමහල් සහෝදරයයි. රාත්‍රි එකොළහේ විතර ඉඳල අපි දිය උඩ තමයි හිටියේ. බෝට්ටුව අනිත් පැත්ත ගැහුණනේ. නැව ළං කරල අපි ගන්නකම් පැය හතක් අටක් විතර දියේ හිටියේ. නැවටත් අපි ගන්න හරිම අමාරු වුණා. සුළඟයි වර්ෂාවයි නිසා. ලංකාවේ මිරිස්සෙ ඉඳල පෙරලිච්ච තැනට මුහුදු සැතපුම් දෙසීය අනූවක් තියෙනව කියල නැවේ කැප්ටන් අපිට කිව්වා. නැව අපි දකිනකොට උදේ හත හමාරට විතර ඇති. අපි හිතුවෙ නෑ අපේ ගාවට වත් ඒවි කියල. එයාල දුර ඉඳන් බලන් ඉන්න ඇති. අපි ටීෂර්ට් වැනුව නිසා තමයි අපේ ගාවට ආවේ. ඇවිත් අපිව බේරගත්තා. අපිට පීනන්නත් බෑනේ. එයාල අපේ ළඟට ඇවිල්ල නැංගුරම් දාල ලොකු දෙයක් කරල තමයි අපිව බේරගත්තෙ.

දරු ස්නේහයෙන් වැලපෙන සුගත්ගේ සහ අජිත්ගේ මව එම්. ඩබ්ලිව්. ඒ. බන්දුවතී මහත්මිය මෙසේ පැවසුවාය.
මට හිතුණා පුතේ මගේ දරුවෝ නැතිවෙලා මටත් ඉඳල වැඩක් නෑ කියලා. මම කෑගහල අඬා පොළොවේ හැපුණා මෙතැන. මම ඉතින් සතුටු වුණා නැවකට ගත්තයි කිව්වට පස්සෙ. ඒත් මගේ ඇස් දෙකට ටී. වී. එකෙන් පෙන්නනකම් මම පිළිගත්තෙ නෑ. දැන් සතුටුයි මගේ පුතාල ගෙදර ආ නිසා. මට දෙවියන් ගැන විශ්වාසය තියෙනවා. මගේ පුතාලත් දෙවියෝ හොඳට අදහනවා. මමත් ඒ විදියම තමයි. වාවාගත නොහැකි දුකෙන් ඇය නැවැත හඬා වැලපෙන්නට වූවාය.

මෙම බිහිසුණු මතකය අවදි කරමින් 'මව්බිම'ට තතු හෙළි කළේ තල්අරඹ තාප්පවත්තේ දිනේෂ් ප්‍රියන්තයි. ඔහුගේ මතකය හැටියට ඔහු පැවසුවේ රාත්‍රි එකට පමණ මෙම අනතුර සිදුවූ බවයි. ඒ රළ ඇවිත් ගැහුව ගමන්ම බෝට්ටුව අනිත් පැත්තට ගැහුවා. එක රළෙන්ම අනිත් පැත්තට ගැහුවා. අපේ කාණ්ඩෙ ඉතිං ඔක්කොම අඬ අඬා හිටිය. ඒ වෙලාවට පුංචි අෑවුන් මතක් වුණා. ඉතිං කරන්න දෙයක් නෑ. නැව්කාරයාට පින්සිද්ධ වෙන්න ඒ මනුස්සය ළඟට ආපු හින්ද අපිව බේරුණා. නැත්නම් අපේ ජීවිත පහම මොනව වේවිද කියල හිතාගන්න බෑ. පස් දෙනාමත් හොඳටම බය වෙලා. මමත් එහෙමයි. අපි වෙව්ල වෙව්ල ගැහි ගැහි හිටියෙ. අතපයත් හීරිල බෝට්ටුවේ කෑලිවලට. ඒ මදිවට බෝට්ටුවෙන් ගලා එන ඩීසල්වලට ඉන්න බෑ. ඩීසල් අපි නාලා හරි අමාරුවෙන් හිටියේ. තව දවසක් හමාරක් හිටිය නම් අපේ ජීවිත පහටම හිතාගන්න බෑ මොනවද වෙන්නෙ කියලා. කුණාටුව නිසා කිසිම බෝට්ටුවක් එදා තිබුණේ නෑ.

මේ බිහිසුණු මතකය හමුවේ කතාබහට එක්වුණු සුගත්ගේ බිරිය මෙම සිද්ධිය ආරංචි වූ වහාම දැනුණු හැඟීම මෙසේ දැක්වූවාය.
මගේ මහත්තය ගිය බෝට්ටුව පෙරළුණයි කියල මට ආරංචිය ආවෙ දෙසැම්බර් පළමුවැනිදා හවස හයයි හතළිහට විතර. කෝල් එකක් දීල කිව්ව ටැංගා බෝට්ටුව පෙරළුණා කියලා. ඒ වෙලාවෙ නම් හිතාගන්න බැරි වුණා මොකද වුණේ කියලා. ගොඩක් අසරණ වුණා. බෝට්ටුව අයිති කෙනාව අපිට මතක් වුණා. අපි එයාගෙන් ඇහුවා බෝට්ටුව පෙරළිලා හොයන්න කිව්වා. එයා කරන්න පුළුවන් උපරිම දේ කළා. දැන් මගේ මහත්තය මාස දෙකකට පස්සෙ ගෙදර ආවා. ගොඩක් සතුටුයි මට. එයාලට ගොඩක් උදවු කරල තියෙනවා නැවක කැප්ටන් කෙනෙක්. එයාට අපි බුදු බව අත්වෙන්න කියල කියනවා. දැන් ගොඩක් සතුටුයි මගේ මහත්තය මගේ ගාව ඉන්නවා යැයි ඇය කීවාය.

මාතර _ උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon