බණ්ඩගෙ තියරිය මෛත්‍රිට ගැළපේවිද?

  👤  3718 readers have read this article !
By mawbima 2017-12-17

පසුගිය සතිය ඉතාමත් තීරණාත්මක වූයේ මෛත්‍රිට රනිල්ට පමණක් නොව මහින්දට හා බැසිල්ටත්ය. මෛත්‍රිගේ උත්සාහය වූයේ කොයිතරම් දුෂ්කර හා අසීරු වුවද ශ්‍රී ලනිපයේ දෙකට බෙදීම සෘජුව බැරිනම් වක්‍රව හෝ පාලනය කරගෙන ඉදිරියට පියවර තැබීමටය. මහින්දගේ පවා යම් නොනිල සුබදායි නම්‍යශීලීත්වයක් තිබුණු බවටද අදහස් පළ වුණේය. බැසිල් යම් ක්‍රියාකාරි බවක් දැක්වූවා සේ විය. කාටත් හොරෙන් දේශපාලනය අභ්‍යන්තරයේ සිදුවූ දේ විය හැකි දෙයක් දැයි සිතන තරමට නාටකීය ලක්ෂණවලින් හෙබියේය. මේ ගැන කනින් කොනින් දැනගත් නිසාදෝ ජනතාව ඒ ගැන කතා කරන්නට පටන් ගත්තේ මෙසේය.

"මෛත්‍රි - බැසිල් එක්ක හොරෙන්ම ටෙලිෆෝන් එකෙන් කතා කරලලු"
"මොනවද දන්නෙ නෑ කතා කළේ?"
"ආරංචියේ හැටියට මෛත්‍රි කියල තියෙන්නෙ ශ්‍රී ලංකා එකයි ඒකාබද්ධෙයි සමඟි කරන්න බැසිල් විරුද්ධ වෙන්නෙ ඇයිද කියලලු"
"මොනවද බැසිල් උන්නැහේ කිව්වැයි කියන්නෙ?"

"එයා ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ වුණත් දෙපැත්තේ වෑයම සාර්ථක වුණා නම් ඒකට විරුද්ධව යන්න සූදානමක් තිබුණේ නෑ කියලලු"
මේ වගේ කතාබහ රට වටේම දැන් සිදුවන්නේය. ඇතැම් කතාවලට තවත් කතා එකතුවී කතා ගොඩක් හැදිලාය. ඒ කතා කෙසේ වෙතත් මේ ආරංචිය නිසා යහපාලනය තුළ සිටින එජාප ප්‍රබලයන් හා ඔවුන් වටා පෙළ ගැසුණුවුන් යම් තරමක කලබලයට පත්වූ බවක්ද පෙනෙන්නට තිබෙන්නේය.
"මේ තරම් දූෂණ වංචා කළාය කියන බැසිල්ට මෛත්‍රි ටෙලිෆෝන් එකෙන් කතා කළේ රෙද්දක් ඇඳගෙනද?"
"බැසිල්ට ලැජ්ජා නැද්ද මේ තරම් හිරිහැර කරපු මෛත්‍රිට උත්තර බඳින්න?"

එජාපයේ මෙන්ම ඒකාබද්ධයේ හිතවතුන් කතා කරන්නට පටන් අරන් තියෙන්නේ එහෙමය. එහෙත් තවමත් "මළත් අපි ශ්‍රී ලංකාකාරයෝ"යි කියා සිතා ඉන්නා උදවිය නම් කැඩී බිඳී වෙන්ව යනවාට වඩා එක්වී යූ.එන්.පී.යට බැටේ දෙන්නට තවමත් කැමැතිය.
"දේශපාලනය කරද්දී සදාකාලික මිතුරන්ද හතුරන්ද නැත" යන්නට අනුව නම් මේ එක්වීම හොඳය, සුන්දරය. කතා කරන්නට පිරිය වඩන්නේය. එහෙත් මෛත්‍රි - බැසිල් සාකච්ඡාවද, ඒකාබද්ධය හා එක්ව තරග කර ජයගන්නා උත්සාහයද තවමත් අවිනිශ්චිත තැනකය. මේ අතර ඉන් පසු මෛත්‍රි, මැතිවරණ නීති ප්‍රකාරව පක්ෂයට ඔහුට හිතවත් අලුත් දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කළේය. නීතිය අනුව මැතිවරණ කොට්ඨාසවලට එසේ පත්කළ හැකි වුවත් එක්වීමට අපේක්ෂාවෙන් සිටි ජන පදනමට මෙය ඒ තරම් ඇල්ලුවේ නැත. එසේ පත්කළ සංවිධායකයන්... ගැන ශ්‍රී ලංකාකාරයෝ කීවේ....

"පණ නැති මේ මිනිස්සු දාල මොන ඡන්ද දිනුම්ද?" කියලාය.
"මෛත්‍රිට ශ්‍රී ලංකා එක රැකගන්න ඕනෑම නම්" අත ලකුණ යටතේ, පුළුවන් තරම් දිනන්න පුළුවන් ආසනවලට හොඳම ශ්‍රී ලංකාකාරයො දාන්න ඕනෑ. 'අත' ලකුණ යටතේ ශ්‍රී ලංකා එක ඡන්දෙට ආපු දවසක් ගැන මතකයක් නෑ වගේ වුණා."

එහෙම කියන්නේ කැපුවත් ශ්‍රී ලංකාකාරයන්ය. එහෙත් තත්ත්වය ඒ හැටි හොඳ නැති නිසා 'අත' ලකුණෙන් පුළුවන් තරමක් ගොඩදාගෙන, ඉතිරිය "බුලත් කොළය" යටතෙන් ගොඩදාගන්න පුළුවනි නම් එයත් නරකම නෑ කියලා කියන පිරිසක්ද සිටිති. එසේ නම් ඡන්ද ලකුණු කිහිපයක් යටතේ හෝ මෛත්‍රි පිලට තරග වදින්නට සිදුවනු ඇත. එහෙත් මෛත්‍රිට තිබෙන බරපතළම අභියෝගය නම් විරසක වූ ශ්‍රී ලනිපයේම සාමාජිකයන් ඒකාබද්ධයක් ලෙස පොහොට්ටුවෙන් තරග කරද්දී ශ්‍රී ලනිපයේ ඡන්ද ඩැහැ ගැනීම වළක්වා ගන්නේ කොහොමද කියන එකය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතරින් බිහිවූ, ඒකාබද්ධ විපක්ෂය වටා පෙළ ගැසුණු මන්ත්‍රිවරුන් හා ඔවුන් පිටුපස සිටින ජන බලවේගය අමතක කර හිතුවක්කාර පියවරක් වෙත යන්නටද ශ්‍රී ලනිප ප්‍රබලයන්ට පුළුවන්කමක් නැත. මේ වෙන්වීම එක්වීමක් දක්වා වර්ධනය වී සාර්ථක එකඟතාවක් ගැන සිහින මවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිස තැන තැන කතාවෙන දෙයක්ද ඇත. එනම්,
"රතන හාමුදුරුවෝ දෙපැත්ත එකතු කරන්න මහන්සි වෙනවලු. තවත් නායක හාමුදුරුවෝ කිහිප නමක් වැඩේ අත්අරින්නෙ නැතිව ගෙන යනවලු. මොනවැයින් මොනවා වේවිද දන්නෙ නෑ" කියලාය.

තත්ත්වය මෙසේ පෙළ ගැසෙමින් තිබියදී දුෂ්කරතා මැද වුව, තවදුරටත් අවසාන මොහොතේදී හෝ හිත් රිදෙන කතාද කෙරුණේය. මේ... පසුගියදා ජනපති උපදෙසින්. මාධ්‍ය හමුවක් පවත්වා මහින්ද සමරසිංහ වැනි යූ.එන්.පී.යෙන් විත් ශ්‍රී ලනිපයේ වැජඹෙන ඇමැතිවරයකු කී කතාය.
"පොහොට්ටුවෙන් එන පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ අරමුණින් පිහිටුවූ පක්ෂයක්. ඒ නිසා එම ලකුණ යටතේ ඔවුන් ගම් මට්ටමින් හෝ මැතිවරණ ව්‍යාපාරය දියත් කරනවා නම් අපි එම තොරතුරු එකතු කර ගන්නවා. චෝදනා ගොනු කර ගන්නට"
මෙය සාමයට කතා කරමින් තියෙද්දී ඊට සම්බන්ධ වෙන්න සිටින යම් තරමක් හෝ නම්‍යශීලී පිරිස් තව තවත් කෝප කිරීමකැයි සැබෑ ශ්‍රී ලංකාකාරයෝ කියති. මෙය එකතු කරගන්න තියෙන අවස්ථාව කඩාකප්පල් කරන්නක් දෝයි සිතන්නට ඉඩ සලසන්නකි.

ශ්‍රී ලනිපයේ යම් එක්සත් වීමක් සිදු වන්නේ නම් එය බරපතළ ලෙස බලපාන්නේ එක්සත් ජාතික පක්ෂයටය. එනිසාම "පළාත් පාලන ඡන්දය වෙනුවෙන් හෝ යම් සමඟි වීමක්, සන්ධාන ගත වීමක්" අපේක්ෂා කරන්නෝ බොහෝය. තුන්කොන් සටනකට යෑමෙන් ශ්‍රී ලනිපයට අවාසි සහගත වන බව මෛත්‍රි තේරුම් ගත්තද ඔහු වටා සිටින ඇතැමුන් තේරුම් නොගැනීමද මෙහිදී පෙන්නුම් කෙරෙන්නේය. මෛත්‍රිට කිට්ටු වෙමින්ම සිතින් එජාපය හා සිටින "ශ්‍රී ලනිප වෙස් මුහුණු" දාගත් පිරිස කරන්නේ කුමක්දැයි මෛත්‍රි වටහාගෙන සිටින්නේදැයි කියන්නට බැරිය. එහෙත් මෛත්‍රි කළ යුත්තේ ශ්‍රී ලනිපයට ආදරය කරන උපදේශකයන් සොයා ඔවුන් හරහා හෝ යම් ඉදිරි පියවරක් වෙත යෑමය.
මේ සියල්ල වෙද්දී එජාප නායක රනිල් අලියා ලකුණ අත් නොහැර තමන් සමඟ එකඟතාවකට පැමිණි සියලුම පිරිස් සමඟ සන්ධානගත වෙමින් එක්සත් ජාතික පෙරමුණ යටතේ සටනක් දෙන්නට සූදානම්ය.

ඔහු වටා සිටින තකතීරු උපදේශකයන් කෙසේ කීවත් එජාපයටද මැතිවරණ ජය සිතන ආකාරයේම සාර්ථකත්වයක් සහිතව ලබා ගන්නට බැරි බව රනිල් තේරුම් ගෙන තිබෙන බවක්ද පෙනෙයි. ඔහු තම සහචරයන්ට කියා සිටින අකාරයට...
"ජීවන වියදම මීට ඉස්සර කවදාවත් නොතිබුණු විදියට ඉහළ ගිහින්. හාල්, පොල් මිල ඉහළ යෑම බරපතළයි. ආහාර වර්ග කිහිපයක මිල ඉහළ ගිහින් තියෙනවා වගේම හාල් පොල් නැඟීම නිසා එය 60%ක් තරම් බලපාන කාරණාවක්ය" කියලාය.

එයින් කියැවෙන්නේ ශ්‍රී ලනිපයේ මෛත්‍රි පිලටත්. එජාපයටත් මේ සටන පහසුවෙන්ම ජය ගන්නට බැරි බවය. ජනතාව හොඳ හැටි කලකිරී සිටින බවය. එය ඡන්දයට දැඩිව බලපාන බවය. ඒ නිසා මෛත්‍රි උභතෝකෝටිකයකය. එජාපයද ජයග්‍රාහී මානසිකත්වයක් මතුපිටින් පෙන්නුවද ගැටලු රැසකය.
ඒකාබද්ධය ද ජයග්‍රාහී ගමනකට බලමුළු තර කර ගනිමින් සීරුවෙන්ය. ශ්‍රී ලනිපය සමඟි කර ගන්නට නම් මෛත්‍රි පසුගිය කාලයේ ඔහු කියූ කියුම් අමතක කර වැඩට බහින්ට සිදු වන්නේය. ඒවා කිහිපයක් මෙසේය.

"මහින්ද මහත්තයා නියෝජනය කරන්නේ අවි බලය, ධන බලය. මම නියෝජනය කරන්නේ ජන බලය. මෙදා ස්ථීරවම අවි බලය ධන බලය පරදා ජන බලය දිනනවා"
මෛත්‍රිපාල සිරිසේන
2014. 12. 09 වැනි දින මාධ්‍ය සාකච්ඡාවේදී

"මේ රටේ මත්ද්‍රව්‍ය වැපිරුවේ මහින්ද රාජපක්ෂ පාලනයයි. මහින්ද රාජපක්ෂ ජනතාවට සිනාසෙමින් ඡන්ද තියමින් ඉතාම දූෂිත ලෙස ජනමතය කොල්ලකමින් දූෂිත නායකයකු බවට පත්වුණා. මම එළියට එන්න පැය 11 කට කලින් ආප්ප කාලා තේ බීලා ආවා. දැන් ඒගොල්ලෝ කියනවා. ආප්පත් කාලා තේත් බීලා නේද මෛත්‍රිපාල ගියේ කියලා. ඔව්. ආප්පත් කාලා තමයි එළියට බැස්සේ."

මෛත්‍රිපාල සිරිසේන
2014. 12. 12 වැනි දින මතුගමදී

මහින්ද අවි බලයෙන් කළේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම බව ජනතාවට රහසක් නොවේ. ශ්‍රී ලනිපයට හද බැඳගත්තවුනට අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මහින්ද "මතට තිත" වැඩසටහන හරහා මත් උවදුර ම¾ඩින්න පියවර ගත් බවද අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. එහෙත් බියර් බොන්න උනන්දු කරවන සහන දෙන, ආණ්ඩුවක නායකයා වී සිටින මෛත්‍රිට මේවා අතින් වහගන්න බැරි තරම් බරපතළ වැරැදිය.

ඒ නිසා රටටත් ජනතාවටත් පක්ෂයටත් ඔහු ආදරය කරන්නේ නම් අතීතයේ කළ කී දෑ කිය කියා කාලය මරන්නේ නැතිව ශ්‍රී ලනිපය එක්සත් කළ යුතුය. ඊට පෙර මෛත්‍රිටත් සියලු ප්‍රගතිශීලී බලවේගයන්ටත් බණ්ඩාරනායක මහතා පැවැසූවක් මෙහි දැක්වීම කාලෝචිතය. එය මෙසේය.

"මට මතක් වෙනවා ඒතඤධභඵ ඩ්චයතඥර කියන එංගලන්තයේ ප්‍රකට නවකතාකරුවාව. ඔහු කියා තිබෙනවා... මළ ලොවකුත් බිහිවිය නොහැකි ලොවකුත් අතර ජීවත් වුණා කියලා. ඒත් මම කැමැතියි ඒක වෙනස් කරලා මෙහෙම කියන්න. අපි මළ ලොවකුත් - බිහිවීමට තැත් කරන ලොවකුත් අතර ජීවත් වන බව සිතෙනවා. ඒ නිසා රටක් වශයෙන් සිතද්දී අප මැරී යන ලොවකුත් බිහිවීමට තැත් කරන ලොවකුත් අතර අප ජීවත් වන බව සිතාගත යුතුයි."

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
(1947 නොවැම්බර් 28දා)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon