පුදුකුඩිඉරුප්පුවේ දෙමළ මිනිස්සු හඬ හඬා මළ ගම් ආපු රණවිරු ජගත්ගේ නොමළ මිනිස්කම

  👤  3518 readers have read this article !
By mawbima 2017-12-17

ඉර උදාවීමට අඩ හෝරාවක් පමණ තිබියදී පාපැදිය අතට ගත් ලාන්ස්කෝප්‍රල් ජගත් කුමාර සුපුරුදු පරිදි මුලින්ම ගියේ කඳවුර අසල ඇති බෝධිය ළඟටය. එහි තිබූ පරව ගිය මල් සියල්ල ඉවත් කර පූජාසනය පිසදා, බෝධිය පාමුල දෙදණ නමා වැඳ නමස්කාර කළ ඔහු සිය සෙබළ සගයාද සමඟ මුලතිව් පුදුකුඩිඉරුප්පු යුද හමුදා කඳවුරෙන් පිටව ගියේ උදෑසන නිරීක්ෂණ චාරිකාව සඳහා හමුවන සියලු දෙනාගේ ආචාරයන්ටද අත වනා, හිසද නවා පිළිගනිමින්, වරෙක සිංහල බසින්ද, තවත් වරෙක දෙමළ බසින්ද හමුවන අය සමඟ ‍ෙදාඩමලු වෙමින් ඔහු මේ යන්නේ අවසන් ගමන බව නම් කිසිවිටෙකත් නොසිතෙන්නට ඇත. එහෙත් සිදුවී ඇත්තේ සිදු නොවිය යුතු දෙයක්මය. එනම් ඔහු ගමන්ගත් පාපැදිය කැබ්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පසුගිය අට වැනිදා මුලතිව් රෝහලේදී අවසන් සුසුම් හෙළුවේ පුදුකුඩිඉරුප්පු ගම්මානයම හඬවමිනි.

ඔහු රාජකරුණා මුදියන්සේලාගේ ජගත් කුමාර (37)ය. නාවලපිටිය හපුගස්තලාව ගම්මානයේ අහස්වැව ග්‍රාමසේවා වසමේ පදිංචි දෙදරු පියෙකි. මීට වසර 14ට පෙර විවාහ දිවියට ඇතුළත් වී ඔහුට හිමි මහගෙදරම නතර වූවේ ලසන්තා ප්‍රියදර්ශනීද සමඟිනි.

ගොරකඔය මහ විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව පෞද්ගලික ආයතනයක අලෙවි නිලධාරියෙක් ලෙස කටයුතු කළ පසු මාස 6 කාලයක් මාලදිවයිනේද සේවය කර ඇත. ඉන්පසු 2009 වසරේදී 11 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළෙක් ලෙස එක්ව කොත්මලේ යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබා තිබේ. දෙමළ භාෂාව කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව නිසාම ඔහුව බුද්ධි බළකායට අනුයුක්ත කර තිබේ. 2011 වසර ලාන්ස්කෝප්‍රල් ජගත් කුමාරට අමතක නොවන වසරක් වූවේ එම වසරේ සිට ඔහු උතුර නැඟෙනහිර ප්‍රදේශවල රාජකාරී සඳහා පිටව ගිය බැවිනි.

මුලතිව් පුදුකුඩිඉරුප්පු යුද හමුදා කඳවුර පිහිටියේ මීට වසර කිහිපයකට පෙර කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ නිතර නිතර බර අවි භාවිත කරමින් දරුණු සටන් පැවැති ප්‍රදේශයකය. එය මුදවා ගැනීමෙන් පසු යළි ජනතාව පදිංචි කළද 30 වසරක් පමණ පැවැති යුද්ධයේ අඳුරු සෙවණැලිවලින්ද, ත්‍රස්තවාදීන් විසින් එම ජනතාවගේ හදවත් තුළට බලෙන් එන්නත් කර තිබූ ඇතැම්විට අදටත් මතුව එන දකුණේ ජනතාව සහ යුද හමුදාව පිළිබඳ විවිධ මතිමතාන්තර නිසාද සහජීවනය මෙන්ම එකිනෙකා අතර පැවැති

මානුෂීය බැඳීමද අතුරුදන් වෙමින් පවතින මොහොතකය. සහජීවනය, සංහිඳියාව සහ මිනිසත්කම දකුණෙන් උතුරට රැගෙන යෑමේ වගකීමද යුද හමුදා සාමාජිකයකු ලෙස මනාව අවබෝධ කරගෙන සිටි බව තහවුරු වූවේ ඔහු අප හැරගිය පසුවය. පුදුකුඩිඉරුප්පු ගම්මානයේ හැම නිවෙසක්ම ජගත් කුමාරට නම් තම නිවෙස මෙන් විය. ඒ නිසාම තේ කෝප්පයකින් සංග්‍රහ නොකළ නිවෙසක් එම ගම්මානයේ නොවීය.

එමෙන්ම පුදුකුඩිඉරුප්පු ගම්මානයේ දරුවන්ට ඔහු සිංහල උගන්වන ගුරුවරයකු විය. තල් කොටයක් මත හිඳගන්නා ඔහු මහාචාර්ය වරයෙකැයි දරුවන්ට සිතෙන්නට ඇත. ඒ නිසා ඔහු අනතුරකට පත්වූ බව දැනගත් මොහොතේ සිට ඇතැම් දරුවන් දෑත්වලින් මුහුණ වසා කඳුළු සැලූ බවද දැනගන්නට ලැබිණි. එය එසේ වන්නට ඇතැයි සිතෙන්නේ ඔහුගේ මළසිරුර අබියස හඬා වැටුණු දමිළ පුරවැසියන් ගැන සිතීමෙනි.

ඔවුහු දකුණට පැමිණ යුද සෙබළකු වූ සිය සහෘදයාගේ දෙණ ළඟ හඬා වැටුණෝය. රණ ගී වෙනුවට ඔහු තමිල්නාඩුවේ, පන්ජාබයේ, කර්නාටකයේ දමිළ ගීත ගැයුවේය. ඒ නිසා උතුරේ දමිළ ජනතාව අහස්වැව ගම්මානයට බස් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ ඒ සෙබළාගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වූහ.
උතුරේ සිට නාවලපිටිය හපුගස්තලාව ගම්මානයට අවසන් ගෞරව දැක්වීම සඳහා පිරිසක් පැමිණෙන බව දැනගත් එම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව පැමිණෙන සියලු දමිළ සහෝදර සහෝදරියන්ට දිවා ආහාර සැකසුවේ දකුණේ අන්තවාදීන්ට තවත් අපූරු පාඩමක් කියා දෙමිනි. ඒ සඳහා කොත්මලේ යුද හමුදා ඒකාබද්ධ භාෂා පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීහුද එක්වූහ. පැමිණ සිටි පිරිස අතර පුදුකුඩිඉරුප්පු ගම්මානයේ බුලත්විට අලෙවි කරන පාදයක් අහිමි පුද්ගලයකුද සිටි බව ප්‍රදේශවාසීන් පවසන අතර ලාන්ස් කෝප්‍රල් ජගත් කුමාරගේ මව වන එම්.ජී. ඉන්ද්‍රාවතී මහත්මිය මෙසේ පවසයි.

මේ ආව අය අතරේ හිටිය අම්මා කෙනෙක් මල් වට්ටියක් ගෙනත් මිනී පෙට්ටිය උඩ තියලා අත්දෙක අහසට දිගු කරලා දෙමළ භාෂාවෙන් මොනවදෝ කියමින් හුඟක් වෙලා ඇඬුවා. ඒ වෙලාවේ මවක් හැටියට මටත් දරාගන්න බැරිවුණා. මේ මල් ගෙනත් තියෙන්නේ මගේ පුතා හැමදාම හවසට කෑම්ප් එක ළඟ තියෙන බෝධියට මල් පූජා කරන්න මල් කඩන ඒ අම්මාගේ වත්තේ තියෙන මල් ගහෙන්. මගේ පුතා ගෙදර හිටියත් හැමදාම හවසට බුදුන් වඳිනවා. අර තියෙන්නේ එයා බුදුන් වඳින කාමරේ යැයි පවසද්දී සිහින් කඳුළු බිඳු දෙකක් වැටුණේය.

වෘත්තියෙන් වඩුකාර්මිකයකු වන ජගත් කුමාරගේ පියා වන ආර්.එම්. පියසේන මහතා මෙසේ පැවැසීය.
සංහිඳියාව, ජාතීන් අතර සමඟිය බිඳ වැටෙන යුගයක ජාතිවාදීන්ට, අන්තවාදීන්ට මගේ පුතා හොඳ පාඩමක් කියාදීලා තියෙනවා. ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟන හැටි පෙන්නලා දීලා තියෙනවා. මට පුදුකුඩිඉරුප්පු ගමේ අය අද (13දා) උදේ කතා කරලා කිව්වා ඊයේ (12දා) මගේ පුතාව සිහි කරලා පොල් පැළ වගයක් බෙදා දුන්නා, ගමේ අයට හිටුවන්න. එදා මළ ගෙදර එනකොට ඒ අය හාල්, පොල්, ධාන්‍ය වගේ කෑම ජාති හුඟක් ගෙනාවා. ඒවායින් කොටසක් අද අපි දානයටත් ගන්නවා.
මාස්වෙල යතුරුගැහුලියද්දේ රජමහ විහාරවාසී අහස්වැවේ විජිත සාර හිමියෝ මෙසේ පැවැසූහ.

"අපේ සමාජය තුළ සහජීවනය, සංහිඳියාව ගොඩනඟන හැටි නොදන්නා අයටත් ජාතිවාදීන්ට සහ අන්තවාදීන්ටත් මේ මරණයෙන් හොඳ පාඩමක් ඉගෙන ගත හැකියි. මේවා ලෝකයටම පෙන්නන්න ඕනේ. ජීවත්වෙන කාලයේ සියලු ආගම්වල අය සමඟියෙන් එක්ව වැඩ කළ යුතු බව මෙයින් පෙන්වා දෙනවා"

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon