විසිවුණු 8 වෙනුවෙන් අතයි-පොහොට්ටුවයි එකට?

  👤  3602 readers have read this article !
By mawbima 2017-12-17

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

• නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන අට සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟිව ප්‍රචාරක කටයුතු සිදුකර එම ආයතනවල බලය ලබාගැනීම සඳහා අවධානය යොමු වී තිබෙන බව එම පක්ෂවලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහරගම නගර සභාව, පානදුර නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගණය ප්‍රාදේශීය සභාව, වැලිගම ප්‍රාදේශීය සභාව, අගලවත්ත ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.
නාම යෝජනා ප්‍රතික්ෂේප වීම්වලට එරෙහිව මෙම දේශපාලන පක්ෂ දෙකම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. යම් හෙයකින් අධිකරණයෙන්ද එම නාම යෝජනා ප්‍රතික්ෂේප බව සඳහන් කළහොත් එසේ ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතන සඳහා එකිනෙකාගේ සහයෝගය ලබාගෙන එම පළාත් පාලන ආයතන ජයග්‍රහණ කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකුගේත් ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන්ගේත් අදහස වී ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමටද දේශපාලනඥයන් පිරිස සූදානමින් සිටින බවටද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon