ඡන්දෙට කලින් තවත් පිනුම් වැලක්

  👤  4113 readers have read this article !
By mawbima 2017-12-17

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු, ඉෂාරා සිල්වා,
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

• පළාත් පාලන මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේදී දේශපාලන පිල් මාරුවීම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබේ.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් ඉරිදා "මව්බිම"ට පැවැසීය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු ලබන 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී කතාබහ කෙරුණු බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි.
ආණ්ඩුවෙන් ඉවත්ව එ්කාබද්ධ විපක්ෂයට එකතු වන බව කියන ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙලෙස ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙක් "ඉරිදා මව්බිම"ට පැවැසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා එම ඇමැතිවරුන් ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද ආරංචි පැතිර යයි.

මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවැසුවේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නාම යෝජනා සකස් කිරීමටද සහයෝගය ලබාදුන් බවයි. එම මන්ත්‍රිවරයා තමන් සමඟ නාම යෝජනා සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වූ බවත් ආණ්ඩුවට යෑම ගැන කිසිදු සංඥාවක් නොවූ බවත් නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරත් සඳහන් කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon