මාරාන්තික තුවාල ලැබූ පිය-පුතු බේරාගත් දෙවියෙක් වැනි වෛද්‍යවරයෙක්

  👤  3342 readers have read this article !
By mawbima 2017-12-15

දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවී එල්ල වූ පිහි ප්‍රහාරයකින් පපු කුහරය ආසන්නයටම බරපතළ කැපුම් තුවාල සිදුවී ජීවිතය හා මරණය අතර සිටි පිය පුතු දෙපළකට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබාදී රියැදුරකු නොමැති ගිලන් රියට රියැදුරකු ගෙන්වාගෙන ඔවුන් දෙදෙනාම තම්මැන්නාව රජයේ රෝහලේ සිට අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත රැගෙන විත් ජීවිත බේරා ගැනීමට රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාට පෙරේදා (13දා) රාත්‍රියේ හැකිවී තිබේ.

තවමත් මිහිපිට දෙවිවරුන් සිටිනා බව රටට කියමින් සිය රාජකාරිය මැනවින් ඉටුකරමින් තරුණ පිය පුතු දෙපළගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ තම්මැන්නාව රජයේ රෝහලේ ස්ථාන භාර ජේ‍යෂ්ඨ වෛද්‍ය නිලධාරි ඩී.පී.එස්. සිසිර කුමාර මහතායි.

පෙරේදා (13දා) සවස හතට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දරුණු පිහි ප්‍රහාරයකට ලක්වූ පිය පුතු දෙපළක් ප්‍රතිකාර සඳහා තම්මැන්නාව රජයේ රෝහලට රැගෙන විත් ඇතත් ඔවුන් ආරක්‍ෂාකාරීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යෑමට ගිලන් රථයේ රියැදුරා නොමැතිවීම නිසා වෛද්‍යවරයා දැඩි අසීරුතාවකට පත්වී තිබේ.

එහෙත් 26 වැනි වියේ පසුවූ තරුණයාගේ හා 46 හැවිරිදි ඔහුගේ පියාගේ ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි අගයක පවතින බව වටහාගත් ස්ථාන භාර වෛද්‍යවරයා වහාම ඔවුන් දෙදෙනාටම මූලික ප්‍රතිකාර ලබාදෙමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ගිලන් රථ රියැදුරා පුහුණු වැඩමුළුවක් සඳහා නිවාඩු ලබාගෙන ඇති බවත් පපු කුහරය ආසන්නයට පිහි ප්‍රහාරයක් එල්ල වූ අසාධ්‍ය රෝගීන් දෙදෙනකු රෝහලේ සිටින බව දන්වා තිබේ.

එම නිසා ඔවුන් අනුරාධපුර රෝහලට ගිලන් රථයෙන් රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් ඇති බවත් ගිලන් රිය රැගෙන ඒමට රියැදුරකු යොදා ගැනීමට අවසර ලබාදෙන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීම් කළ අවස්ථාවේ අධ්‍යක්‍ෂවරයා වහාම ඊට අවසර ලබාදී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික රියැදුරකු රෝහලට කැඳවා රෝගීන් දෙදෙනාව ආරක්‍ෂාකාරීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ප්‍රවාහනය කරදෙන ලෙස ඉල්ලා තිබේ. එම රියැදුරා ඉතා ආරක්‍ෂාකාරීව රෝගීන් දෙදෙනාම අනුරාධපුර රෝහලට රැගෙන මිනිත්තු කිහිපයකදී අනුරාධපුර රෝහලට ළඟාවී තිබිණි.
පපු කුහරය ආසන්නයට තුවාල සිදුවී බරපතළ තත්ත්වයෙන් සිටි රෝගීන් දෙදෙනාට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබාදී ඔවුන්ගේ පෙණහලුවලට වාතය පිරීමෙන් ජීවිත අවදානම් තත්ත්වයට පත්වීමට පෙර පිය පුතු දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරයා සමත්වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon