මැන්ඩාමූස් ආඥාවක් ඉල්ලා ඒකාබද්ධයෙන් පෙත්සමක්

  👤  3762 readers have read this article !
By mawbima 2017-12-15

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍ර වෙනුවෙන් මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (15දා) හෝ ලබන 18 දින අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.
නාම යෝජනා ප්‍රධාන වශයෙන් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ නෛතික නොවන තාක්ෂණික ගැටලු නිසා බවත් 2001 පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණේ නාම යෝජනා පළාත් පාලන ආයතන 26ක මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප වූ බවත් අධිකරණයට ගිය පසු එම නාම යෝජනා පත්‍ර 26ම භාරගන්නා ලෙසට මැන්ඩාමුස් ආඥාවක් ලැබුණු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

ඇතැම් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන්නේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් නොමැතිවීම වැනි නෛතික නොවන තාක්ෂණික කරුණු හේතුවෙන් බවද අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ පමණින් 'පොහොට්ටුව'ට පෙම්බැඳි කිසිවකුට කලකිරීමට පත් නොවන ලෙස ඉල්ලා සිටින බවත් අධිකරණ ක්‍රියාදාමයෙන් අනතුරුව පොහොට්ටුව අනිවාර්යෙන්ම එම ආයතනවලට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
මීට අදාළ නීති උපදෙස් ලබාගැනීම ඊයේ (14දා) දින සවසම ආරම්භ කළ බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව තාවකාලික සතුටක් ලැබුවද පළාත් පාලන මැතිවරණයේදී 'පොහොට්ටුව' ලබන ජයග්‍රහණය ඔවුන්ට දරුණු පරාජයක ආරම්භය කියා මතක් කරදීමට කැමැති බවද අලහප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon