පෙරළිකාර සති අන්තයක් එළැඹෙයි

  👤  3329 readers have read this article !
By mawbima 2017-12-15

ශ්‍රී ලංකා රග්බි සංගමය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේදී හත්වන සතියේ තරග එළැඹෙන දින තුනේදී පැවැත්වීමට නියමිත අතර, පසුගිය 6 වැනි සතිය නිමා වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්ව ඇත්තේ තරග 6කට සහභාගි වී අපරාජිතව සිටිමිනි.

ඒ අනුව අද (15දා) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පස්වරු 3.30ටත්, ශ්‍රී ලංකා පොලිසිය හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. තරගය සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිටියේදී පස්වරු 3.45ටත් ආරම්භ වීමට නියමිතව ඇත.

මේ අතර තවත් තරග දෙකක්ද එළැඹෙන සති අන්තයේදී (16 හා 17දා) පැවැත්වෙන අතර, එහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජ අතර තරගය හෙට (16දා) හැව්ලොක්ස් පිටියේදීත්, ශ්‍රී ලංකා යුද හමුදා හා ගුවන් හමුදා අතර තරගය අනිද්දා (17දා) කොළඹ තුරඟ තරග පිටියේදීත් පැවැත්වේ.
තරග 6කට සහභාගි වී තරග 5ක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටින හැව්ලොක්ස් කණ්ඩායමට දෙවැනි තැනත්, තරග 6කට සහභාගි වී ජයග්‍රහණ 4ක් හා පරාජයන් දෙකක් ලබා ඇති නාවික හමුදා කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි තැනත් හිමිකරගෙන සිටී.

තවද තරග හයකට සහභාගි වී තරග තුනක් ජයගෙන තරග තුනක් පරාජය වී සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සිවුවැනි තැනත්, තරග 6කට සහභාගි වී තරග දෙකක් ජයගෙන තරග තුනක් පරාජය වී එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින සී.එච්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පස්වැනි ස්ථානයටත් පත්ව තිබේ.
හයවැනි, හත්වැනි හා අටවැනි ස්ථාන පිළිවෙළින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය යන කණ්ඩායම් හිමිකරගෙන ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon