අපේ පන්දු යවන්නන් ලකුණු දුන්නා වැඩියි

  👤  3304 readers have read this article !
By mawbima 2017-12-15

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී රෝහිත් ෂර්මාගේ ද්විත්ව ශතකය හේතුවෙන් ලකුණු 141ක ජයක් ලබා තරගාවලිය 1-1ක් ලෙස සම කරගැනීමට ඉන්දියානු කණ්ඩායමට මේ වනවිට හැකිව තිබේ.

පන්දු 153කදී වාර්තා වූ රෝහිත්ගේ ද්විත්ව ශතකයත් (208) සමඟින් ඉන්දියානු කණ්ඩායම ලකුණු 392ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර සඳහන් කරන්නේ එම ලකුණු ප්‍රමාණය සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබූ බවය.

"අපේ පන්දු යවන්නන්ට මෙයට වඩා දෙයක් කරන්න තිබුණා. මේ තණතීරුව පිතිකරුවන්ට වාසි තණතීරුවක් වුණත් එහි ලකුණු 320-330ක් අතර රඳවාගන්නට අපට හොඳටම ඉඩ තිබුණා. ඒත් ලකුණු 390ක් කියන්නේ ඉතාමත් ලොකු ලකුණු ප්‍රමාණයක්. ඒ නිසා මම හිතන්නේ ලකුණු 60කට වැඩි ප්‍රමාණයක් අපි ඔවුන්ට ලබා දුන්නා. අපේ පන්දු යවන්නන් යැවූ මැද කෙටී එන පන්දුවලට ඔවුන් අපට හොඳින් සැලකුවා. මම හිතන්නේ මෙහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ රෝහිත් ෂර්මාට. අපට එරෙහිව ලබාගත් ඔහුගේ පළමු ද්විත්ව ශතකයත් රූපවාහිනියෙන් මා නැරැඹුවා. එදාට වඩා ඔහු මෙවර දෙවැනි ලකුණු සියය ලබාගත්තේ පන්දු 36කදී වීම විශේෂත්වයක්. ඔහු මේ ද්විත්ව ශතකය ලබාගත්තේ තරගාවලිය 1-0ක් ලෙස පරාජය වෙලා පීඩනයක සිටියදීයි. එතැනයි වැදගත්කම තියන්නේ" යනුවෙන් පැවැසූ සමරවීර ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීම සඳහා තනිවම සටනක් දියත් කළ ඇන්ජිලෝ මැතිව්ස් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"පිතිකරුවකුගෙන් වන සේවය ඔහුගෙන් අවශ්‍ය නිසයි අපි ඔහුව නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගත යුත්තේ. ඔහු නැවත පැමිණියේ ආබාධයකින් පසුව නිසා ඔහු පන්දුවාර කිහිපයකට පමණක් සීමා කර ගත යුතු වෙනවා" යනුවෙන්ද සමරවීරගේ අදහස විය.

කෙසේ වෙතත් රෝහිත් ෂර්මා ලැබූ මෙම ද්විත්ව ශතකය ඔහුගේ බිරිය රිටිකා සාජ්දේට ලබා දුන් තිළිණියක් බවට වාර්තා වී තිබූ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහිත් පැවැසුවේ මෙවැන්නකි. "මේ සම්බන්ධයෙන් එයාට තමයි මටත් වැඩිය සතුටක් තියෙන්නේ. මගේ පිතිහරඹය බලලා එයා ඉතාමත් සන්තෝෂ වුණා කියලා එයා මට කිව්වා. අපි දෙන්නා කසාද බැඳලා අවුරුදු දෙකක් සම්පූර්ණ වූ දවසේ මම ගහපු පළමු ද්විත්ව ශතකය මෙය නිසා වෙන්න ඇති එයාට මෙය වැදගත්. ඒත් මට වැදගත් වුණේ කණ්ඩායමේ ජයග්‍රහණය මිසක් මම ගහපු ද්විත්ව ශතකය නොවෙයි" යනුවෙන්ද ෂර්මා එහිදී පවසා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා-ඉන්දයා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින තරගය 17 වැනිදා (ඉරිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 විශාකාපට්නම්හිදී ආරම්භ වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon