ඡන්ද සටනට වඩා වැදගත් ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සටනයි

  👤  3278 readers have read this article !
By mawbima 2017-12-15

තිස්සමහාරාමයේ ඡන්දදායකයන් රැකියාවක් ලබාගැනීම සඳහා කිසිවකු පසුපස නොයා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ සජිත් ප්‍රේමදාසට අයැදුම්පත්‍රයක් භාරදීම පමණක් බවත්, නිල් බළකායේ සාමාජිකයන්ට පවා තමන් පත්වීම් ලබාදී ඇති බවත් තිස්සමහාරාමයේ ඡන්දදායකයන්ගේ දුවා දරුවන්ට අනිවාර්යයෙන් රජයේ රැකියා ලබා දී තම සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1174කට රුපියල් ලක්ෂ 1965ක් වටිනා 'සැමට සෙවණ' විසිරි නිවාස ණය සහ 'සොඳුරු පියස' නිවාස ණය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කෙළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අද වැදගත් වන්නේ මැතිවරණ දිනන සටනද, නැතිනම් ජනතාව දිනවන සටනද කියා විමසා බලන්නට සිදු වෙනවා. අද රටේ වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඡන්දය ජයග්‍රහණය කරන්නේ කවුද කියන එකද, නැතිනම් මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ කවුරුන්ද කියන එකද? සන්දර්ශන පවත්වා රට පුරා මහා රඟපෑමක් සිදු කරන එකද වැදගත්. නොඑසේ නම් මේ මොහොත වන විටත් කුසගින්නේ සිටින ජනතාවගේ බඩ කට පුරවන සටන දිනීමද යන්න සිතා බැලිය යුතුයි.
මිනිසා ජීවත් කරවීම, මිනිසාගේ නිවාස ගැටලු විසඳීම, මෙරට දුප්පත්කම තුරන් කරලීම අපගේ ප්‍රධාන සටනයි. ඒ සටන හැර අපට වෙන කිසිදු සටනක් නැහැ. මැතිවරණ දිනන පරදින සටන වඩා වැදගත් වන්නේ මේ රටේ ජීවත් වන පොදු ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ සටන ජයග්‍රහණය කිරීමයි.

ඔබ දිනවන සටන වෙනුවෙන් යහපාලන ආණ්ඩුව හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සම්පූර්ණ කාලය, ධනය, ශ්‍රමය වැය කරනවා. සටන් ගැන කතා කිරීමේදී හුදෙක් මැතිවරණ සටන්වලට පමණක් සීමා වන්නට එපා. එය නින්දා සහගත ක්‍රියාවක්. අද විවිධ මහජන නියෝජිතයන් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පොර බදිනවා. පොඩි මිනිහා වෙනුවෙන් කිසිවකු පොර බදින්නේ නැහැ. යහපාලන රජයේ අප රණසිංහ ප්‍රේමදාස නිවාස සංවර්ධන වැඩපිළිවෙළ නැවත ආරම්භ කරමින් ඔබට ප්‍රතිලාභ, වරප්‍රසාද, වරදාන රැසක් ලබා දෙනවා.

අපගේ බලාපොරොත්තුව නිවාස ණය ලබාදීම පමණක් නොවේ. ඔබගේ නිවාස සම්පූර්ණ කර ගත්තාද? ඔබ යා යුතු ඉලක්කය වෙත ගියාද? අප එය සොයා බලනවා. යහපාලන රජය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ඔබගේ ඉලක්ක සපුරා ගන්නා තෙක් ඔබට ශක්තිය ලබා දීමට ඇප කැප වෙනවා.
අපගේ නිවාස වැඩසටහන දේශපාලන වැඩසටහනක් නෙවෙයි. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ නායකයන් රැසක් හිටියා. ඒ අය ඔබට ඉඩම් බෙදා දුන්නාද? නිවාස ඉදිකර දුන්නාද? උදා ගම්මාන ඉදිකළාද? නැහැ. මා අනුගමනය කරන්නේ මාගේ දිවංගත පියාගේ ප්‍රතිපත්තිය. සැමට සෙවණ, සැමට සහන, සැමට සංවර්ධනය, සැමට උදවු කිරීම ඒ ප්‍රතිපත්තියයි. අපගේ සැලැස්ම රජයේ රැකියා 20,000ක් ලබා දීමයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon