ඉකුත් වසරේ ලංකාව වාර්තා දෙකක් තැබුවා

  👤  3648 readers have read this article !
By mawbima 2017-12-15

පසුගිය 2016 වසරේ ලෝකයේ ලොකුම කෘත්‍රිම නත්තල් ගස ඉදිකිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට හැකි වූවා සේම ඒ තුළින් ශ්‍රී ලංකාවේ සමඟිය පිළිබඳ වාර්තාවක් තැබීමට සමත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින (13දා) අරලියගහ මන්දිරයේ පැවැති ලොව විශාලතම නත්තල් ගස ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය පිළිගැන්වීමේ උත්සවයේදී පැවැසීය.

නත්තල සමරන බහුතරයක් ජනතාව නොමැති රටක් වන අප රටේ මෙවැනි විශාල නත්තල් ගසක් ඉදිවීම විශේෂත්වයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටක් වුවත්, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව මේ සඳහා සහයෝගය දැක්වූ බව සිහිපත් කළේය.
එම උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

අර්ජුන රණතුංග අමාත්‍යතුමා පළමු ලෝක වාර්තාව තැබුවේ 1996 දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර දීමෙනුයි. හිටපු වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයා ලෙසත් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමට එතුමා සමත් වුණා. එනම් ලෝකයේ විශාලතම කෘත්‍රිම නත්තල් ගස ඉදිකිරීමයි. ඒ සඳහා එතුමාට හොඳ කණ්ඩායමක් සිටියා. අමාත්‍යතුමාට තනිව මෙවැනි විශාල කටයුත්තක් නිම කළ නොහැකියි. එම නිසා අමාත්‍යතුමා ඇතුළු මෙම කණ්ඩායමට මගේ ස්තුතිය පිරිනමනවා.

මෙහි පළමු වැදගත් කාරණය වන්නේ අපේ නිර්මාණ ශක්තිය ලෝකයට පෙන්වීමට හැකි වීමයි. ඒ වගේම අපේ ඉදිකිරීමේ කුසලතාවත් ඒ හරහා පෙන්නුම් කිරීමට හැකි වුණා. එවැනි විශාල කාර්යයක් ශ්‍රී ලංකාවට කළ හැකි යැයි අප නොසිතුවත් ඔබ සියලු දෙනාගේ නිර්මාණ ශක්තිය හරහා අපට ලෝකයේ ලොකුම නත්තල් ගස සාර්ථකව ඉදිකර අවසන් කිරීමට හැකි වුණා. අපේ ශ්‍රී ලාංකික ජනතාවට ඉහළ නිර්මාණ ශක්තියක් තිබෙනවා. අප ඉන් නිසි ප්‍රයෝජනයක් ලබාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය තරගකාරි පරිසරයක් අප නිර්මාණය කළ යුතුයි.

2016 ලෝකයේ ලොකුම කෘත්‍රිම නත්තල් ගස ඉදිකළ ස්ථානය ඊට වසර කිහිපයකට පෙර පැවැතුණේ විශාල යුද කඳවුරක් ලෙසයි. ඒ අපේ රට යුද්ධයකට මැදිව තිබූ කාලයේයි. මේ යුද්ධය පැවැතියේ වෙනත් රටක් හෝ ජනතාවක් සමඟ නොවේ. ඒ යුද්ධය පැවැතුණේ අපේම රටේ ජනතාව අතරයි. නමුත් ලෝකයේ ලොකුම කෘත්‍රිම නත්තල් ගස එම ස්ථානයේ ඉදිකිරීම හරහා එදා යුද කඳවුරක්ව පැවැති ස්ථානය සාමයේ සලකුණක් බවට පත් වුණා. නත්තල හඳුන්වන්නේ සාමයේ සලකුණ ලෙසයි.
ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වරාය නා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් ගිය වසරේ දෙසැම්බර් 24 වැනි දින කොළඹ ගාලු මුව‍ෙදාර පිටියේදී ඉදිකර ප්‍රදර්ශනය කරනු ලැබූ උස අඩි 236කින් යුක්ත ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස වෙනුවෙන් ගිනස් වාර්තාවේ සහතිකය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෙරේදා (13දා) කොළඹ අරලියගහ මන්දිරයේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් නිල වශයෙන් පිරිනැමීය.

අමාත්‍ය අර්ජුන රණතුංග
අභියෝග මැද ලාංකිකයන් ලෙස ගිනස් වාර්තාවක් තැබීමට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙය ඉදිකිරීමේදී විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවුණා. ඒ සියල්ලටම නොබියව මුහුණ දීමට අගමැතිතුමා ලබාදුන් සහාය අපමණයි. එය අගය කළ යුතුයි.

කතෝලික ආගම මුල්කරගෙන මෙම නත්තල් ගස හැදුවාට අපිට වැඩිපුරම දායකත්වය ලැබුණේ සිංහල බෞද්ධ අයගෙනුයි.
මෙහිදී නත්තල් ගස ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදුන් වරාය අධිකාරියේ සේවකයන් 15 දෙනකුට සංකේතාත්මකව සම්මාන සහතික පත්‍ර පිරිනැමීමද සිදුකෙරිණි.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායා - සරත් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon