අනියම් බිරියගේ ආරවුල දුරදිග යෑමෙන් අනුරාධපුර ව්‍යාපාරිකයකුගේ නිවෙසේ තිබූ වාහනවලට ගිනි තියලා:අලාභය ලක්ෂ 70ක්

  👤  3867 readers have read this article !
By mawbima 2017-12-15

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය

අනියම් බිරිය සමඟ පැවැති ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ සිද්ධියක් මුල් කරගනිමින් අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ පදිංචි මල් වෙළෙන්දකුගේ නිවෙසේ නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු රථ වාහන කිහිපයකට ගිනි තබා රුපියල් ලක්ෂ 70ක පමණ අලාභයක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (14දා) පරීක්ෂණ ආරම්භ කළේය.

අනුරාධපුර පොලිස් වසමේ වට වන්දනා පාර නිරාවිය ලිපිනයේ පදිංචි පී. ඒ. ගුණදාස (64) නමැති මල් වෙළෙන්දාට අයත් දේපළවලට ගිනි තබා අලාභ හානි සිදුකර තිබෙන අතර ගින්නෙන් නිවෙස ඉදිරිපිට ගරාජයේ නවතා තිබූ රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා මෝටර් රථයක්, රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්, විවිධ වර්ගයේ යතුරුපැදි 4ක් මුළුමනින්ම විනාශ වී ඇත. ගින්න නිවෙස දෙසට ව්‍යාප්ත වී එක් කාමරයකට ගිනි ඇවිළීමෙන් එම කාමරයේ තිබූ වටිනා ගෘහ උපකරණ විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී තිබෙන බව පොලිසිය පැවැසුවේය.

සැකකරුවන් ඊයේ (14දා) අලුයම දෙකට පමණ ගිනි තැබීම සිදුකර පලාගොස් ඇති බව පවසන පොලිසිය ව්‍යාපාරිකයා හා ඔහුගේ අනියම් බිරිය අතර පවතින කෝන්තරයක් සිද්ධියට මුල් වන්නට ඇති බවට සැක පහළ කරති.

අලුයම දෙකට පමණ නිවෙස ඉදිරිපිටින් යම් කිසි ශබ්දයක් ඇසීම නිසා නිදා සිටි ව්‍යාපාරිකයා අවදි වී නිවෙසින් පිටතට එද්දී ගරාජයේ නවතා තිබූ ත්‍රිරෝද රථය ගිනි ගන්නා අයුරු දැක එය ගරාජයෙන් ඉවතට ඇද දැමීමට උත්සාහ කළත් එම උත්සාහය ආසාර්ථක වී ඇති බව පොලිසිය පැවැසුවේය. එම ගින්න යතුරුපැදිවලට පැතිරී මෝටර් රථයට ගිනි ඇවිළී ඊට යාබදව තිබූ වෙළෙන්දාගේ දියණිය නිදා සිටි කාමරයට ගින්න ඇවිළී තිබෙන බවත් අනාවරණය වේ. ඒ අවස්ථාවේ වෙළෙන්දාගේ දියණිය හා ඇගේ කුඩා දරුවා නිදා සිටි ඇඳ මතට ගිනි ඇවිළුණු පරාලයක් කඩා වැටී ඇති අතර ඔවුන්ගේ දිවි අනූනමයෙන් බේරී ඇති බව පොලිසිය පැවැසුවේය. ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇතත් ගින්න දරුණු මට්ටමකින් පැවැතීම නිසා අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඬ පවත්වා තිබේ. ගින්නෙන් නිවෙසේ එක් කාමරයකට බරපතළ අලාභහානි සිදුවී ඇත.

පසුගියදා පවුල් ආරවුල සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ විභාග වූ පැමිණිල්ලක් අතරතුර අනියම් බිරියගේ පාර්ශ්වය වෙළෙන්දාගේ නිවෙසට ගිනි තබන බවට තර්ජනයක් එල්ල කර තිබෙන බව පොලිසිය පවසයි. නිවෙසට පැමිණි කිසියම් අයකු ත්‍රිරෝද රථයට පෙට්රල් වත්කර ගිනි තබා පලා යන්නට ඇති බව පැවැසේ.
ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon