වැරැදි මත පරාජය කළ හැක්කේ අවියෙන් නොව නිවැරැදි මතවලින් පමණයි

  👤  3681 readers have read this article !
By mawbima 2017-12-15

නැවත රට තුළ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රට තුළ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දශකය පුරා විවිධ ජන කොටස් අතරේ විවිධ ප්‍රශ්න හා ගැටලු ඇති වූ අයුරු දක්නට ලැබුණද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයන් අතර ගැටුමක් ඇති නොවූ බවත් වැරැදි මඟ යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා අවවාද හා අනුශාසනා තුළින් හැකි බවත් ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (12දා) පැවැති සර්ව ආගමික සමුළුව අමතමිනි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ හෘද සාක්ෂිය දන්නවා පසුගිය දශක කිහිපය තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතරේ විවිධ ප්‍රශ්න සහ ගැටුම් ඇති වූ බව. ඒ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස අපිට තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ ආරක්ෂක හමුදාවලට හැකි වුණා රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධවලින් පරාජය කරන්න. එහෙත් මේ පිළිබඳව ඇති වී තිබෙන මතවාදය පරාජය කරන්න තවම අපිට පුළුවන් වෙලා නැහැ.

අපේ රට අභ්‍යන්තරයේ ඒ පිළිබඳව විවෘතව කතා නොකළත් රටෙන් පිට විදේශයන්හි සිට රටේ පවතින බෙදීම පිළිබඳව මතවාදය තවමත් විවිධ පිරිස් ගොඩනඟනවා. මතවාදයන් පරාජය කිරීම ආයුධයකින් කළ නොහැකි බව දන්නවා. මතවාදයන් පරාජය කළ හැක්කේ තවත් නිවැරැදි මතවාදයන් තුළින් පමණයි. ආගමික සහජීවනය මේ සඳහා ඉතාම වැදගත්.

ගමේ පන්සලත් පල්ලියත් කෝවිලත් දේවාලයත් අතරේ කිසිදු ගැටුමක් මතභේදයක් නැහැ කියා මම විශ්වාස කරනවා. ආගමික පූජකතුමන්ලා සැමවිටම නිවැරැදි මතයන් සමාජය තුළ ගොඩනඟනවා.

එහිදී ආගමික පූජකතුමන්ලා විසින් දේශනා කරනු ලබන ආධ්‍යාත්මික දර්ශන ඉතාම වැදගත් වෙනවා.
අපිට මේ සහජීවන සමුළු පැවැත්වීමට සිදුවී තිබෙන්නේ සමාජය තුළ සහජීවනය ප්‍රශ්නයක් තිබෙන නිසයි. දියුණු මිනිසුන් කිසිවිටකත් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. නිවැරැදි සමාජ දර්ශනයන් දෙසයි විශ්වාසය තබන්නේ. අපේ රටේ සහජීවනය සංහිඳියාව යන වචන කතා කරන විට ඇතැම් අය එය නින්දාවට සහ උපහාසයට ලක් කරනවා. ඒ ඉතාමත් සුළු පිරිසක්.

ආගමික සහජීවන සමුළුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපේ ගමේ නගරයේ විහාරස්ථානවල වැඩවසන ගෞරවනීය මහා සංඝරත්නයෙන් අපි ඇයද සිටිනවා සහජීවනය පිළිබඳව ඔබවහන්සේලාගේ අවවාද, අනුශාසනා, මඟපෙන්වීම අපේ සමාජයට දායාද කරන්න කියලා. හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අප ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ සමාජය තුළ සංහිඳියාව, සහජීවනය පිළිබඳ වර්තමාන සමාජය වඩ වඩාත් දැනුවත් කරන්න කියලා. අපි රජයක් විදියට කළ හැකි කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් මෙහිදී නොපිරිහෙළා ඉටුකිරීම පිළිබඳ වගකීම භාරගන්නවා.

ඒ අනුව අපිට අනාගතය පිළිබඳව සුබවාදීව බැලිය හැකියි. අනාගතය තුළ නිවැරැදි දේ දකින්න පුළුවන්. සමාජයේ ජීවත්වන සෑම කෙනෙක්ම කුමන භාෂාවකට කුමන ආගමකට අයත් වුවත් සහෝදරත්වයෙන්, විශ්වාසයෙන් ජීවත්වන සමාජයක් පිළිබඳව බලාපොරොත්තු තබන්න පුළුවන් විය යුතුයි. ඒ තුළ නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම කැපවෙමු.

පහන් විජේසේකර
ඡායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon