විල්පත්තුව පමණක් නොවෙයි සියලුම වනාන්තර රැක ගැනීම රටේ රාජ්‍ය නායකයාගේ වගකීමයි

  👤  3484 readers have read this article !
By mawbima 2017-12-15

නුවන් හෙට්ටිආරච්චි

විල්පත්තුව පමණක් නොව සියලුම වනාන්තර ආරක්ෂා කර ගැනීම රාජ්‍ය නායකයා සතු වගකීමක් බවත් මේ වනාන්තර ආරක්ෂා කිරීමට හමුදාවට භාර දිය යුතු බවත් ප්‍රවීණ කලාකරු වසන්ත කුමාරසිරි මහතා පවසයි.
විල්පත්තුව සුරකිමු සංවිධානය පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඒ මහතා ඒ බව පැවැසීය.
හමුදාව රට රැක ගත්තා සේම පරිසරය රැක ගනු ඇතැයි ද පැවැසූ හෙතෙම පරිසරය භාරව කටයුතු කරන්නා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඊට මැදිහත්ව කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

එහිදී ප්‍රවීණ කලාකරු රවීන්ද්‍ර රන්දෙණිය මහතාද මෙසේ අදහස් දැක්වීය.
අපි සොබාදහමට ආදරය කළ යුතුයි. ඒ නිසා තමයි අද අපි ජීවත් වෙන්නේ. විල්පත්තු වනාන්තරයේ මොල්ලිකුලම් දක්වා මම ගිහින් තියෙනවා. ඒ ගුරු පාර දිගේ මම යන විට කුඩා ගෙවල් ප්‍රමාණයක් තිබුණා. අද ඒවා විශාල වෙලා. ඒ වගේම ඉඩම් කට්ටි කරලා විකුණනවා. මේ එළි කරලා විකුණන්නේ විල්පත්තුව වනාන්තරයේ ආරක්ෂාවට තියෙන අධි ආරක්ෂක කැලෑ සීමාව. ඒ නිසා මම කියන්නේ මේ පිළිබඳ සොයා බැලීම වටිනවා. අපි මේ කිසිදු දේශපාලන පැත්තක් ගන්න හදනවා නෙවෙයි. ජාතිවාදීන් නෙවෙයි අපි. අපේ ජාතිය පරිසරය, ආගම පරිසරය, භාෂාවන් පරිසරය, ඒ නිසා දේශපාලනය කෝණයෙන් බලන්න එපා. රජයේ බලධාරීන් විශේෂ ප්‍රකාශ නොකර ඇත්තටම මේ විල්පත්තු වන සංහාරය, දූෂණය නැවැත්වීමට කටයුතු කළ යුතුයි.

ප්‍රවීණ කලාකරු ශ්‍රිියන්ත මෙන්ඩිස් මහතාද මෙසේ අදහස් දැක්වීය.
විල්පත්තුව යනු මිලියන 25කට එහා ඉතිහාසයකට සාක්ෂි පෙන්වන ස්ථානයක්. ඒ ස්ථානය කරදිමලේ ප්‍රදේශය, ඒ වගේම පොම්පරිප්පු සෙහොන් කොත්ද මේ සාධක සපයනවා. මෙහෙම වනාන්තරයක් විනාශ කිරීම කරමින් ඉන්නේ ඇයි කියන එක විශාල ප්‍රශ්නයක්. මෙය නතර කිරීමට අපි එකතු වුණේ ඒකයි. නැත්නම් ඉතාම මෑතකදී අපට මියයෑමට සිදුවෙයි.

තවත් විශාල කලාකරුවන් පිරිසක් සහභාගි වූ මෙම අවස්ථාවේදී ඊයේ (14දා) සවස 2.00ට විහාරමහාදේවි උද්‍යානයේදී 'විල්පත්තුව වෙනුවෙන් අපි' මහා විරෝධතාවක් පැවැත්වෙන බවද විල්පත්තුව සුරකිමු සංවිධානය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon