ඇමැති ජෝන් අමරතුංග තමාට ආණ්ඩු බලය මෙන්ම පොලිස් බලයත් තිබෙන බවට කළ ප්‍රකාශය නින්දිතයි, ලැජ්ජා සහගතයි

  👤  3456 readers have read this article !
By mawbima 2017-12-15

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මහජන හමුවකදී තමන්ට ආණ්ඩු බලය මෙන්ම පොලිසියේ බලයද තිබෙන බවට ජනතාව බිය වද්දන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම ඉතාම නින්දිත, හිරිකිත මෙන්ම ලැජ්ජා සහගත එකක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
ආණ්ඩුවයි පොලිසියේ බලයයි තිබූ පළියට ජනතාව මර්දනය කිරීමට කාටවත් ඉඩ නොලැබෙන බවත් ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි සිය නිවෙසේදී පැවැති මාධ්‍ය හමුවකදී චන්ද්‍රසේන මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මේ වනවිටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් මෙන්ම රජයේ මැති ඇමැතිවරුන් තමන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදනවලින් ලබාගත් භාණ්ඩ තම ආධාරකරුවන්ට ඡන්ද අල්ලස් වශයෙන් දිගට හරහට බෙදාදීම ආරම්භ කර තිබෙනවා. එම භාණ්ඩ මේ වනවිට ප්‍රාදේශීය සභාවලට තරග කරන මන්ත්‍රි ධුර අපේක්ෂකයන්ගේ නිවෙස්වල ගබඩා කර තිබෙනවා. ඒ වගේම දැනට එම භාණ්ඩ විශාල පිරිසකට ඡන්ද අල්ලස් වශයෙන් බෙදාගෙන යනවා.
මම මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දුරකතනයෙන් කතාකොට පැමිණිලි කළා. ඊට අදාළ තොරතුරු ෆැක්ස් මඟින් එවන ලෙස එතුමා දන්වා සිටියා. අනතුරුව එතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියා.

ඒ නිසා අපේ පාක්ෂිකයන්ගෙන් මම ඉල්ලීමක් කර සිටියා, වහාම එවැනි පැමිණිලි පිළිබඳ තොරතුරු ඡායාරූප ගත කර සහ ලිඛිතව ඔප්පු කළ හැකි අන්දමට එක්රැස් කර මැතිවරණ කොමිසමට දන්වන ලෙස. අල්ලස් දී ඡන්දය ලබාගෙන ජයග්‍රහණය කරන පුද්ගලයන්ට විරුද්ධව මැතිවරණයෙන් පසු අපි අනිවාර්යයෙන්ම අධිකරණයට යනවා. මේ අල්ලස් දීම අනුරාධපුර දිස්ත්‍රික්කයේම සිදු කෙරෙනවා. ඒ නිසා මේ කැත වැඩේට ඉඩ නොදෙන ලෙසත් සර්ව සාධාරණ විදිහට ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon