ගෙම්බන් අල්ලන්න ගිය සිවු හැවිරිදි දරුවා වැසිකිළි වළට වැටී මිය ගිහින්

  👤  3560 readers have read this article !
By mawbima 2017-12-15

පෙරපාසලේ විවිධ ප්‍රසංගයට අඳින නැටුම් රෙදි හෝදන්න අම්මා වැවට ගිය ඇසිල්ලේ වැසිකිළි වළේ ගෙම්බන් අල්ලන්න ගිය සිවු හැවිරිදි දරුවකු එම වළට වැටී මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොළ පොලිස් වසමෙහි අගාරඋඩ ගුලාග පදිංචි එස්.පී.ඩී. ශෂී නිශාන් විජේසිංහ නමැති සිවු හැවිරිදි පෙරපාසල් දරුවෙකි.

මියගිය දරුවාගේ මව වන එස්.පී.ඩී. නිශානි කුසුමලතා සිය නිවෙස ආසන්නයෙහි ඇති වැවට රෙදි සේදීම සඳහා ගොස් ඇත. දාහතර වැනි දින පැවැත්වෙන පෙරපාසල් විවිධ ප්‍රසංගයට සිය පුතණුවන් සහභාගි වන බැවින් එහි නර්තන අංගයක් සඳහා පුතණුවන්ට ඇන්දවීමට නියමිත ඇඳුම් සෝදාගෙන ඒමට මව වැවට ගොස් ඇති අතර සිය වැඩිමහලු දියණියට මල්ලි බලා ගන්නා ලෙස පවසා ගොස් ඇත.

අක්කා සහ මල්ලි සමඟ අහල පහළ නිවෙස්වල දරුවන් කිහිප දෙනකුද සෙල්ලමට වැටී ඇති අතර මියගිය දරුවා තමා ගෙම්බන් අල්ලන්නට යන බව අක්කාට දන්වා බකට් එකක්ද රැගෙන නිවෙස පිටුපස ඇති වැසිකිළි වළ වෙත ගොස් ඇත.

මියගිය දරුවාගේ පියා වන එස්.පී.ඩී. සුජිත් චන්දන ජයරත්න ඔවුන් පදිංචි ගම ආසන්නයෙහිම පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන අතර දහවල් කෑම පැයේදී තම පුතණුවන් සමඟ ආහාර වේල ගත යුතුයැයි සිතා කෑම පාර්සලයද රැගෙන සිය නිවෙස වෙත පැමිණ ඇත. සිය පුතණුවන් නිවසෙහි පෙනෙන්නට නොසිටි නිසා නිවෙස ආසන්නයෙහි සෑම තැනකම සොයා ඇති අතර වැඩිමහලු දියණියගෙන් විමසීමේදී පවසා ඇත්තේ මල්ලි ගෙම්බන් අල්ලන්නට යැයි පවසා නිවෙස පිටුපස ඇති වැසිකිළි වළ වෙත බකට් එකක්ද රැගෙන ගිය බවකි. එම ස්ථානය වෙත ගිය පියා දරුවා පෙනෙන්නට නොසිටි හෙයින් වැසිකිළි වළ තුළට පැන ඇත.

වැසිකිළි වළෙහි පතුල පරීක්ෂා කළ පියාට එහි පතුලෙහි සිටි දරුවා හමුවී ඇත. දරුවා කුලියාපිටිය මූලික රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහල වෙත රැගෙන යනවිටත් දරුවා මියගොස් ඇතැයි වෛද්‍යවරු පවසා ඇත. හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

පඬුවස්නුවර - හිරුණි මෙන්ඩිස්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon