නව නිර්දේශය යටතේ ඉදිරිපත් විය යුතු සිසුවා පැරැණි නිර්දේශය යටතේ සා/පෙළට වාඩි කරලා

  👤  3411 readers have read this article !
By mawbima 2017-12-15

නව විෂය නිර්දේශ යටතේ පාසල් අයැදුම්කරුවකු ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි මානේරුව මහා විද්‍යාලයේ කථනාබාධිත සිසුවකු පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස පැරැණි නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත් කරවීමට එම විදුහලේ විදුහල්පතිවරයා කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

එම විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙලෙස අපහසුතාවට පත්ව ඇත්තේ එම විද්‍යාලයේ 11 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන එච්.එම්. සජිත් අශෝක බණ්ඩාර නමැති සිසුවෙකි. නෑගම්පහ අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි එම සිසුවා පාසල් අයැදුම්කරුවකු ලෙස නව විෂය නිර්දේශ යටතේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අයෙකි.

තම දරුවාට පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදීමට පාසලේ විදුහල්පතිවරයා කටයුතු කර නොමැති බැව් සිසුවාගේ මවුපියෝ පවසති. ඒ වෙනුවට තම දරුවාට විභාග අංක 77859995 යටතේ පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස නව නිර්දේශය සඳහා සූදානම් වූ තම දරුවාට මෙවර විභාගයේදී පැරැණි නිර්දේශය යටතේ වූ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සිදුව ඇති බවද එම සිසුවාගේ මවුපියෝ පවසති. ඉකුත් දා විදුහල්පතිවරයා සිය නිවෙසට පැමිණ එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොකරන ලෙස තමන්ට පැවැසූ බවද එම මවුපියෝ පවසති. විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය නිසා තම දරුවාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද කර සිටිති.

අදාළ සිසුවා පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස මේ වනවිට ආ¾ඩිගල මහා විද්‍යාලයේ පිහිටි විභාග ශාලාවකදී පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දෙමින් සිටී.
මවුපියන්ගෙන් එල්ලවන එම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී මානේරුව මහා විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ. ගුරුසිංහ මහතා මෙසේ කීය. "දරුවාගේ සාධන මට්ටම ප්‍රමාණවත් නොවූ නිසා පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගය අසමත් වෙයි කියලා තමයි අපි පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස ඒ දරුවා විභාගයට ඉදිරිපත් කරන්න කටයුතු කළේ. විෂය නිර්දේශය සම්බන්ධයෙන් ගැටලුවක් ඒ දරුවා පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස අයැදුම් කළ අවස්ථාවේ නම් තිබුණේ නැහැ. ඒ මවුපියන් එක්කත් මම ඒ ගැන කතා කරලා තියෙනවා. දරුවාගේ පෞද්ගලික විභාග අයැදුම්පත්‍රයත් මම තමයි ගෙදරටම ගෙනිහින් දුන්නේ. මම මේ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාත් දැනුවත් කරලා තියෙනවා. මම දරුවාගේ ගෙදර ගියා තමයි. මවුපියන් සමඟ කතා කළා තමයි. හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මට එහෙම කියන්න බැහැනේ" යැයිද පැවැසීය. "එම දරුවා මොන විදියට විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ." ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටලුවකට මේ දරුවා මුහුණ දෙන්නේ නැහැ. මම ඒ දරුවට අසාධාරණයක් කරලා නැහැ.

කැකිරාව අධ්‍යාපන කලාපයේ සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එස්. වේගොල්ල මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා කරුණු දක්වමින්,

"මේ දරුවා පාසල් සිසුවකු ලෙස අනිවාර්යයෙන් නව විෂය නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගයට පෙනී සිටිය යුතු දරුවෙක්. ඒ අනුව දරුවා පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු වෙනවා. කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන්න විදුහල්පතිවරයකුට අයිතියක් නැහැ. නව නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවකු ලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මේ දරුවා පැරැණි විෂය නිර්දේශයෙන් තමයි දැනට විභාගයට පෙනී සිටින්නේ. මම දරුවාගේ විභාග ප්‍රවේශපත්‍රයත් පරීක්ෂා කළා. එහිදී ඒ බව තහවුරු වුණා. මේ සම්බන්ධයෙන් මම විමර්ශනයක් සිදුකරනවා."

මඩාටුගම - ප්‍රසංග ඒකනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon