දේශපාලනඥයින් හා නිලධාරීන් කරන්නේ මොනවාදැයි ජනතාවට දැන් දැනගන්න පුළුවන්

  👤  2581 readers have read this article !
By mawbima 2017-12-14

ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
බස්නාහිර පළාත් තොරතුරු නිලධාරීන්ගේ වැඩමුළුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වසරකුත් මාස තුනක කාලයක් තුළ ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය.
මංගල සමරවීර මහතා එහිදී මෙසේද පැවැසීය.

අපි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර වසරකුත් මාස තුනක් පමණ ගතවෙලා තියෙනවා. මේ කෙටි කාලය තුළ මේ පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ඉතාම සක්‍රිය ආකාරයකට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ අමාත්‍යාංශය 2017 -2019 තොරතුරු දැනගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් තොරතුරු දැන ගැනීම එදිනෙදා මහජන ජීවිතයේ කොටසක් බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ යෙදිලා ඉන්නවා.
පනත හඳුන්වා දීමෙන් නොනැවතී මේක ක්‍රියාත්මක කරන්න ඕන වටපිටාවකුත් නිර්මාණය කළා. අපි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහතික කළ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකම් අතරට එකතු කළා.

මේ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් මූලික අයිතිවාසිකමක් 1978න් පසුව එකතු කරපු පළමුවැනි වතාව. ඒ විතරක් නෙවෙයි මේ වන විට අපි නිර්මාණය කරමින් සිටින ශ්‍රී ලංකාවේ තුන් වැනි ජනරජ ව්‍යවස්ථාව තුළත් තොරතුරු දැනගැනීමේ අයිතියට අපි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. මොකද අපි පිළිඅරන් තියෙනවා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සැබෑ ලෙසම භුක්ති විඳින්න නම් ඔවුන්ට නීතිමය රාමුවක් ඇතුළත රටේ රජය සහ පරිපාලන ක්‍රියාත්මක වීමේ තත්ත්වය දියුණු කරන්න ඕනේ බව.
පසුගිය අවුරුද්දේ හඳුන්වලා දුන්න මේ පනත ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත් 10 ඇතුළත තියෙන බව ජාත්‍යන්තර සංවිධානයකින් ශේ‍ර්ණිගත කරලා තියෙනවා.
අපි මෙතරම් ශක්තිමත් රාමුවක් තියන තොරතුරු දැනගැනීමේ පනතක් හඳුන්වලා දුන්නේ විසි එක් වැනි සියවසේ මේ සමාජය, මේ රට ලෝකයේ අනෙක් දියුණු රටවල් එක්ක ඉදිරියට ගෙනිහින් ආර්ථික වශයෙන් අපි ඇති කර ගනිමින් යන මේ අලුත් වර්ධනය එක්ක සමාජයීය දේශපාලන වශයෙන් පුරවැසියා බලගන්වන ඉතා ශක්තිමත් සමාජ සම්මුතියක් ඇති කර ගන්නයි.

මේ සමාජ සම්මුතිය ශක්තිමත් වෙන්න නම් විවෘත විනිවිදභාවයක් වගේම ජනතාවට වගකියන, ජනතාවත් එක්ක සම්බන්ධ පාලනයක් රට තුළ තියෙන්න ඕනේ.
මෙවැනි තත්ත්වයක් ඇති කරගන්න රජයේ නිලධාරීන් සහ පාලකයන් සිදු කරන කටයුතු ජනතාවට අවශ්‍ය ආකාරයට දැනගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවේ.

ඒක නිසා තොරතුරු දැනගැනීමේ නිලධාරීන් විදියට ඔබ සියලු දෙනා ක්‍රියාත්මක වෙන්නේ රටේ පාලනයත් ජනතාවත් අතර සම්බන්ධය ඇති කරන පාලමක් විදියට. එතකොට මේ පාලමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ජනතාවත් ආණ්ඩුවත් අතර සම්බන්ධය වැඩිවෙනවා.

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon