සෑම කෙනකුටම සවන්දීමට යාම අපේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙලා

  👤  2869 readers have read this article !
By mawbima 2017-12-14

මේ ආණ්ඩුව සෑම කෙනකුටම ඇහුම්කන් දී වැඩ කළත් ඒක ප්‍රශ්නයක් වී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඔහු එම අදහස් පළ කෙළේ ඊයේ (13දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරයා මෙසේද පිළිතුරු දුනි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් සිදු වූ බව කියැවෙනවා. ඒ කුමක් ගැනද?
දයාසිරි ජයසේකර මහතා
ඇත්තටම එහෙම වුණාද කියලා මම දන්නෙ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලනිප එකතු කරන්න අපි සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ශ්‍රී ලනිප එකතු කරන්නත් තවත් කට්ටියක් ඒක බෙදන්නත් කටයුතු කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ බැසිල් රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ කතා කිරීම මේ අවස්ථාවේ වැදගත් මාතෘකාවක්ද?
එතුමාට කරන්න දෙයක් නැති හින්දනෙ පක්ෂය පටන් ගත්තෙ. නඩුවකටත් අහු වුණා. මොනවා හරි කරන්නත් ඕනනෙ.
මැතිවරණයෙන් පස්සෙ එකතු වෙන්නද මේ සාකච්ඡා කරන්නෙ?

මේ වන විට පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් නැහැ කියලයි මට හිතෙන්නේ. ඡන්දයෙන් පස්සේ මේ පක්ෂය තියේවි කියලත් මම නම් හිතන්නෙ නැහැ. ඡන්දයකට කලින් නම් එකඟතාවක් ඇති වෙන්නෙ නැහැ. අවසන් සාකච්ඡාවත් අපි කළා. ප්‍රතිඵලය අසාර්ථකයි. ජී.එල්.පීරිස් මහත්තයා නිදි මතයි කියලා ගියා. ඩිලාන් පෙරේරා කරන්න පුළුවන් හැම විදියටම ආයාචනා කළා.

පක්ෂ දෙකට එකතු වෙන්න ඉඩ නොදෙන දෙන්නා කවුද කියලා ප්‍රකාශ කරන්නැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඔබට අභියෝග කර තිබෙනවා?
ප්‍රසන්න රණතුංගයි, නාමල් රාජපක්ෂයි තමයි ඔය පක්ෂය කඩන්න කටයුතු කළේ. පැහැදිලිවම විරුද්ධ වුණේ එකතු වීමට ඒ අයයි. මන්ත්‍රි කණ්ඩායමෙන් බහුතරයක් එක් වෙන්න කැමැති වෙලා තිබුණත් එක් කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ විරුද්ධත්වයට එහෙම වුණා. ඒත් බහුතරයේ අවසන් තීන්දුව ගන්නෙ කවුද කියලා මම දන්නෙ නැහැ.
දුම්රිය වෘත්තීය සමිති ඉදිරියේ රජය දණ ගහලා වගෙයි පේන්නේ?

දයාසිරි ජයසේකර මහතා
රජය දණ ගහලා නැහැ. මේ ආණ්ඩුව හැම කෙනකුටම ඇහුම්කන් දීල වැඩ කරන ආණ්ඩුවක්. ඒකම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. අත්‍යවශ්‍ය සේවා නියෝගය තිබුණත් අපි තවදුරටත් යම් එකඟතාවකට එන්න උත්සාහ කළේ. එම නිසයි කැබිනට් අනු කමිටුවක් පත් කළේ. 2006/1 චක්‍රලේඛ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තලවල විශාල ප්‍රශ්නයක් ඇති වෙලා. ඒවා එකක් විසඳන කොට තව කට්ටියක් පාරට බහිනවා.
දුම්රිය වර්ජනයට ලබා දුන් විසඳුම කුමක්ද?
රාජිත සෙනාරත්න මහතා

අපි තීන්දු කළා දුම්රිය, අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ආයතන සංවෘත සේවා බවට පත් කිරීමට. මේක වැටුප් වැඩිවීමකට වඩා තාක්ෂණික ප්‍රශ්නයක්. රාජ්‍ය සේවයේ තිබූ 132ක් වූ වැටුප් තල පසු ගිය රජය 34ට අඩු කළා. ඒක හොඳ දෙයක් වුණත් එක එක ප්‍රශ්න ඇති වෙනවා. එක් සේවාවකට වැටුප් වැඩි කළාට අනෙක් අයට ඒක බලපාන්නෙ නැහැ. ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට එම පත්‍රිකාව ඉදිරිපත් කරනවා.
සංවෘත සේවාවක් කළ පසු වැටුප් වැඩි කරනවාද?
රජය වැටුප් වැඩි කිරීමකට විරුද්ධ නැහැ.

දින 7ක් තිස්සේ දුම්රිය වර්ජනය දිග් ගැස්සුණේ ඇමැතිවරයාගේ ආකාර්යක්ෂමතාව නිසාද?
වර්ජනයේ ස්වභාවය අනුව තමයි ඇමැතිට පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නෙ.
සේවයට වාර්තා නොකළ අයට විරුද්ධව කටයුතු කරනවාද?
නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ.
කලාකරුවන් හමුදාවෙන් වැටුප් ගත් බව සමාජ ජාලවල පළවෙනවා. එහි සත්‍යතාව කුමක්ද?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිත්න
ක්‍රිෂාන්ත එරන්දක හා අර්ජුන කමලනාත් කියන අය 2009 දෙසැම්බර් 19 සිට සැරයන්වරු ලෙස යුද හමුදාවෙ ස්වේච්ඡා බළසේනාවට බඳවාගෙන තිබෙනවා. රණවිරුවන්ගේ දිරිගැන්වීම් සහ විනෝදාශ්වය සැපයීීම තමයි ඔවුන්ට භාර වුණේ. 2015 ජනවාරි 1 සිට ඔවුන් සේවයෙන් ඉවත් කර තිබෙනවා. වෘත්තීයමය මට්ටමේ අය සහ විශේෂ හැකියා ඇති අය ස්වේච්ඡා බළසේනාවට බඳවා ගත හැකියි.
මොන වගේ ව්‍යාපෘතිවලද ඔවුන් නියැළුණේ?

අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය වැනි දේවල් කරන්න ඇති. සොයලා බලල පසුව කියන්න පුළුවන්.
ඇයි මෙහෙම යුද්ධයක් නැති කාලයකත් බඳවා ගෙන තිබෙන්නෙ?
රාජිත සේනාරත්න මහතා
යුද්ධය ඉවර වුණත් යුද්ධය තියෙනවා කියලා හිතාගෙනනෙ ඒ අය වැඩ කළේ.
වෛද්‍ය විද්‍යාල සඳහා බඳවා ගැනීමේ අවම සුදුසුකම කුමක්ද?

එස් 3ක් ලබා ගැනීම තමයි අවම ප්‍රමිතිය. ඒක ජාතික ප්‍රතිපත්තියක්. ඒක වෙනස් කරන්න මේ පාර්ලිමේන්තුවෙන් විශ්වවිද්‍යාල පනත වෙනස් කළ යුතුයි. ඒත් එය වැඩි කළ හැකියි. ඒ අනුව තමයි සී 2යි, එස්1යි, ලෙස වැඩි කළේ.

ජෝන් අමරතුංග අමාත්‍යවරයා අපේ පොලිසිය අපේ ආණ්ඩුව කියලා මැතිවරණය පටන් ගන්නවා. මෙහෙමද ආණ්ඩුව කටයුතු කරන්නෙ?
දයාසිරි ජයසේකර
අපේ පොලිසිය ස්වාධීනයි. දේශපාලකයො එක එක කතා කිව්වට පොලිසිය වැඩ කරන්නෙ නීත්‍යනුකූලවයි.
ගයන්ත කරුණාතිලක මහතා
ඒ ප්‍රකාශය ගැන මම දන්නෙ නැහැ. ඒත් එජාපය විනයක් ඇතිව සාධාරණ ලෙස මැතිවරණ මෙහෙයවනවා.
පොලිස්පතිවරයාට විරුද්ධව නියෝජ්‍ය පොලිස්පතිවරු පැමිණිලි කරනවා. රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද?
රාජිත සේනාරත්න මහතා
පොලිසිය ඒ ගැන විභාග කරනවා. ඒක තියෙන්නෙ ඒ පැමිණිලි විභාග කරන්නනෙ.
පොහොර හිඟයට විසඳුමක් නැද්ද තාමත්?
ජනාධිපතිතුමා පාකිස්තාන අගමැතිතුමාට පෞද්ගලිකව කතා කළා. පාකිස්තානයෙන් ටොන් 75,000ක් එවන්න එකඟ වී තිබෙනවා. ලෝකයේම පොහොර හිඟයක් තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රමාදය ඇති වෙලා තියෙන්නේ.
ඒත් ටෙන්ඩරය ප්‍රමාදවීම නිසා පොහොර ගෙන්වීමට නොහැකි වූ බවයි ආරංචි?
පොහොරවල තත්ත්වය බාල නිසයි එහෙම වුණේ.
දයාසිරි ජයසේකර මහතා
ලබන 28 වෙන කොට පොහොර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන බව දුමින්ද දිසානායක ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා.
හාල් හිඟය උත්සව සමයේදී බරපතළ පැනයක් වෙලා?
සමහර අය පිට රට හාල් ගෙනැල්ලා ලංකාවෙ හාල් කියලා විකුණනවා. එහෙම තත්ත්වයකුත් තියෙනවා. ඒත් හිඟයක් ඇති නොවීම සඳහා මෙටි්‍රක් ටොන් ලක්ෂ 5ක් ගෙන්වනවා.

රාජිත සේනාරත්න මහතා
හාල් ගෙන්වීමට අවසර දුන්නත් සුළු වශයෙන් ගෙන්වා ඇති බව කියැවෙනවා. මේ තත්ත්වය සොයා බලන්න කටයුතු කරනවා.
ව්‍යවස්ථාව පිළිබඳ විවාදයට මන්ත්‍රිවරු සහභාගි වී නැහැ?
ඒ ඇයි?

පෙ.ව. 11ට තමයි විවාදය යොදා ගෙන තිබුණේ. විවිධ වේලාවන් කථිකයන්ට දී තිබුණා. එවැනි තත්ත්වයක් මතයි ඔය ප්‍රශ්නය ඇති වුණේ.
ගයන්ත කරුණාතිලක මහතා
මාසයක් එක දිගට පාර්ලිමේන්තුවේ රැඳී සිටි මන්ත්‍රිවරුන්ට නාම යෝජනාවලටත් යන්න සිදු වූ දවසකයි පාර්ලිමේන්තුව රැස් කළේ. නියමිත වේලාවට එතැන ඉන්න බැරි වූ නිසයි එදා රැස්වීම සිදු නොවුණෙ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සරත් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon