දළ පූට්ටුවාගේ ඇත් දළ යුගලයේ කොටස් කොළඹට ගෙන ඒමට අධිකරණය අවසර දෙයි

  👤  2732 readers have read this article !
By mawbima 2017-12-14

අනුරාධපුරය -
ආනන්ද කරුණාදාස

දැනට අධිකරණය භාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගලයේ කුඩා ප්‍රමාණයේ කොටසක් කපා එම කැබැල්ල සහ ගජමුතු හය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹට රැගෙන යෑමට ජාතික සත්වෝද්‍යානයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ආර්.බී. රාජපක්‍ෂ මහතාට මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා අවසර ලබා දුන්නේය.

මේ අතර ඇත් දළ කොටස් සහ ගජමුතු හය ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා මඟින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් තක්සේරු දෙපාර්තමේන්තුවටත් යැවීමටද අධිකරණයේ අවසරය හිමි විය. දළ යුගලය සම්පූර්ණයෙන්ම පිටතට රැගෙන යෑමට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරිණි.
ඇත් දළ කොටස් සහ ගජමුතු හය අධිකරණයෙන් පිටතට රැගෙන යෑමේදී ඒවායෙහි සම්පූර්ණ වගකීම ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයාට සහ මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට පැවැරෙන බවද මහෙස්ත්‍රාත් මල්ලවාරච්චි මහතා තරයේ දැන්වීය.

දළ පූට්ටුවා හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය සහ උණ්ඩ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමටත් හස්තියාගේ ශරීරයේ මස් කොටස් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකට යැවීමටත් අධිකරණයේ අවසර ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් සම්බන්ධයෙන් වාර්තා ලද පසුව ඉදිරියේදී සලකා බලන බවද කීවේය.

අධිකරණය භාරයේ පවතින ඇත් දළ යුගලයේ කොටස් සහ ගජමුතු හය අධිකරණයෙන් පිටතට රැගෙන යන නිලධාරීන්ගේ නම් ඒවායේ වගකීම භාර ගන්නේ කවුරුන්ද, රැගෙන යන්නේ කුමන නිලධාරියා යටතේද, එම නිලධාරීන්ගේ තනතුරු කුමක්ද ඔවුන්ගේ නම් මොනවාද, ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනය කුමක්ද, එම වාහනයේ රියැදුරු කවුරුන්ද රැගෙන යෑමට සහභාගි වන සෙසු නිලධාරීන් කවුරුන්ද, ආරක්‍ෂාව සපයන්නේ කෙසේද එම නිලධාරින්ගේ නම් මොනවාද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මේ අතර ඇත් දළ සහ ගජමුතු පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට ඒවා භාර දෙන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කුමන නිලධාරියාටද දළ යුගලයේ කොටස් සහ ගජමුතු හයට තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රඳවා තබා ගන්නේ කෙසේද, එම ආයතන දෙක තුළ දී දළ කොටස්වලට සහ ගජමුතු හයට ආරක්‍ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබ¼දවත් සවිස්තර වාර්තාවක් ද සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇත් දළ කොටස් සහ ගජමුතු අධිකරණයෙන් පිටතට රැගෙන යෑමට මෙලෙස අධිකරණයේ අවසරය ලැබිණි.

ඇත් දළ යුගල සහ ගජමුතු කොළඹට රැගෙන යෑමට අවසර ලබා දෙන ලෙස මීට පෙර කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර පසුව මෙම වාර්තා කැඳවා ඒවා සලකා බලා මෙලෙස ඊට අවසර ලබා දෙනු ලැබීය.

අධිකරණය හමුවේ පෙනී සිටි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවැසුවේ තම දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසයි.
තම නඩුව ඉල්ලා අස්කරගෙන රහස් පොලිසිය පවත්වාගෙන යනු ලබන නඩුවට උපරිම සහයෝගය ලබා දෙන බවට නිලධාරීහු අධිකරණයට පොරොන්දු වූහ. එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එක සහ දෙක සැකකරුවන්ට එරෙහිව වනජීවී නිලධාරීන් ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.

මේ අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් පවතින බවද මහෙස්ත්‍රාත්වරයා කීවේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමඟ රහස් පොලිසියේ නිලධාරින් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කීර්ති ජී. දුනුසිංහ, මනෝජ් පොල්ගම්පල සහ සඳගිරි බණ්ඩාර යන මහත්වරු පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon