වසරකට ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගීන් 20,000ක්

  👤  2757 readers have read this article !
By mawbima 2017-12-14

බද්දේගම - ඕ. කමලනාථ

ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගීන් 20,000ක් පමණ වර්ෂයකට හමුවන්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරයට සහභාගි වෙමිනි.

අමාත්‍යවරයා මෙසේද කීවේය. 'බෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මුහුණ දී තිබෙන අභියෝගයක්. එය සමස්ත සාර්ක් කලාපයටම පොදු කරුණක්.
මේ වර්ෂයේ පැවැති සාර්ක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදීද බෝ නොවන රෝග පිළිබඳව අවධානය යොමු කෙරුණා. සෑම වසරකම පිළිකා රෝගීන් 20,000ක් පමණ අලුතින් හමුවෙනවා. මෙහිදී පුරුෂ පක්ෂය මුඛ, පෙණහලු, ගලනාල පිළිකාවලට මුහුණ දී ඇති අයුරු දක්නට ලැබෙනවා. කාන්තාවන් පියයුරු, ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකාවලට ගොදුරුව සිටිනවා. පුරුෂ පක්ෂය අතර මුඛ හා පෙණහලු පිළිකා වර්ධනයට බලපා ඇත්තේ දුම්පානයයි. එම නිසා දුම්පානය අවම කිරීමට වත්මන් රජය ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පිළිකා රෝගීන් සඳහා පනවා තිබූ රුපියල් ලක්ෂ 15ක ප්‍රතිකාර සීමාව ඉවත් කිරීමට මම පියවර ගත්තා. විකිරණ ප්‍රතිකාර ක්‍රමද විධිමත්ව සිදු කරන අතර පිළිකා රෝග පර්යේෂණ වැඩිදියුණු කර තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහල, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල්වල ප්‍රතිකාර ක්‍රම විධිමත්ව සිදු කරනවා.
ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවක්. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඔෟෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. පිළිකා රෝගීන් පිළිබඳව නිවාස මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමද අත්‍යවශ්‍ය කරුණක්. පිළිකා රෝග තුරන් කිරීම සඳහා ආසියානු රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි, යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මේ අවස්ථාවට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි දමයන්ති පීරිස් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon