විල්පත්තු බෝම්බෙ ගැසූ කොටි හත්දෙනා වසර 56ක් හිරේට

  👤  2905 readers have read this article !
By mawbima 2017-12-14

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යමින් සිටි වෛද්‍යවරයකු ඇතුළු දේශීය සංචාරකයන් හත්දෙනකු රැගත් කැබ් රථයක් ඉලක්ක කරගෙන ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර...එම කැබ් රථයේ සිටි වෛද්‍යවරයා ඇතුළු හත්දෙනා ඝාතනය කිරීම ඇතුළු චෝදනා අටක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප්‍රබල කොටි විත්තිකරුවන් හත්දෙනකු හට මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වෙන් වෙන් වශයෙන් වසර පනස් හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නඟා තිබූ අධිචෝදනා අටටම විත්තිකරුවෝ වෙන් වෙන්ව වරද පිළිගත්හ.
විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් නඟා තිබූ අධිචෝදනා අටට වසර අට බැගින් මෙම සිර දඬුවම් නියම කෙරිණි.
මෙලෙස 56 වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප්‍රබලයන් වන සිමියොන් සන්දරයෝගු හෙවත් ක්ලේමෝ පාක්‍යන්, රාගවන් සුරේෂ් හෙවත් පුදියවන්, සිරිල් රාසමනී හෙවත් සිරාලන්, සින්නප්පන් පාක්‍යනාදන් හෙවත් පාක්‍යන් අයියා, මුත්තු මරික්කාර් අබ්දුල් ශලීම් හෙවත් ශලීම් අයියා, සාන්දන් ස්ටැනිස් රමේෂ් හෙවත් වල්ලුවන් සහ නඩරාජා සරවන බවන් හෙවත් සීට්ටු යන විත්තිකරුවන්ටය.

දඬුවම් නියම වූ හිටපු කොටි සාමාජිකයන් මන්නාරම චාවාකච්චේරිය, වවුනියාව සහ පුත්තලම පදිංචිකරුවන්ය. 2006 වසරේ මැයි මස 27 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළට නීති විරෝධීව ඇතුළු වී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් හෝ අපරාධකරුවන් ලෙස පෙනී සිටිමින් මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා අටක් යටතේ වෙන් වෙන් වශයෙන් නඩු පවරා තිබිණි.

විත්තිකරුවන් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නිහාල් සිල්වා, නන්ද අබේසූරිය, ඩී. අනුර දිසානායක, හෙන්දි ඊවා අබේසූරිය, චන්ද්‍රන් ආශිර්වාදන්, ඩැරල් චාල්ස් පෙරේරා සහ අනුලා ආශිර්වාදන් යන මහත් මහත්මීන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon