අලි මවක් වැව් ඉස්මත්තේ මරා දමලා

  👤  3162 readers have read this article !
By mawbima 2017-12-14

වෙඩි තබා ඝාතනය කර තිබූ තවත් කෙණෙරකගේ මළ සිරුරක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී පෙරේදා (12දා) පෙරවරුවේ වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එදිනම පැමිණ මිය ගිය කෙණෙරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

දින 04ක් තුළ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වූ දෙවැනි අලි ඝාතනය මෙය වේ.
ඉකුත් 11 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයකු මෙම මවු කෙණෙරට වෙඩි තබා ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය කෙණෙරගේ සිරුරේ තිබී ඊයම් උණ්ඩද සොයා ගැනිණි. වෙඩි වැදීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුව ඇති හානි කෙණෙරගේ මරණයට හේතුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය.

මියගිය කෙණෙර උස අඩි 8ක් පමණ වන අවුරුදු 22ක් වයසැති වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. මියගිය කෙණෙරගේ පියයුරුවලින් කිරි වෑස්සෙන බවත් ඒ අනුව එම සතා කිරි බොන වයසේ පැටවකු සිටින මවු සතකු බව වනජීවී නිලධාරීහු පවසති. මවු කෙණෙරගේ මරණින් පසු පැටියා රංචුවට එක්වන්නට ඇතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. පැටියා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම සඳහා වනජීවී සංරක්ෂණ නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
තිරප්පන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

මවු කෙණෙරගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් අරඹා ඇත. ගනේවල්පොල අලි කළමනාකරණ ඒකකය මඟින් එම වැඩිදුර විමර්ශන සිදු කෙරේ. එම කෙණෙරගේ ඝාතනය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයකු වෙතොත් 0253777825 ඔස්සේ ගනේවල්පොල වනජීවී කාර්යාලයට දැනුම් දීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon