කොළඹින් ගිය පොලිස් ටීම් එකක් නිධානයකින් කෑල්ලක් සොයා අනුරපුර ගෙයක් පෙරළලා

  👤  3476 readers have read this article !
By mawbima 2017-12-14

කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් සිය නිවෙසෙහි නාන කාමරයේ පොළව හාරා ලබාගත් නිදන් වස්තුවලින් කොටසක් ලබාදෙන ලෙසට තර්ජනය කොට පලා ගිය පුවතක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
එරංග ඉන්දික සිරිවර්ධන මහතාගේ නිවෙසට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිවෙසේ හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ඇතැයි පවසමින් නිවෙසට ඇතුළු වී ඇති අතර පැය පහක පමණ කාලයක් නිවෙස පරීක්ෂා කිරීමෙන් පසුව බලපෑම් කොට පිටව ගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නම දෙනකු ලියාපදිංචි අංක තහඩු ආවරණය වන පරිදි දෙහි හා කොහොඹ අත්තක් එල්ලාගෙන සුඛෝපභෝගී විසල් වර්ගයේ මෝටර් රථයකින් පෙරේදා (12දා) උදෑසන 10.30ට පමණ නිවෙසට පැමිණ තිබෙන අතර, කුඩා දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා නිවෙසේ උඩු මහලේ පිහිටි කාමරයක සිරකර ආරක්ෂිත කැමරා පද්ධතිය විසන්ධි කර පැය පහක් තිස්සේ හෙරොයින් තිබෙන බව කියමින් ඔවුන් නිදන් වස්තු සොයා තිබේ.

නිවෙස වටලා එහි නාන කාමරය හාරන අවස්ථාවේ නිවෙසේ හිමිකරු වන එච්. එම්. එරංග ඉන්දික සිරිවර්ධන (38) මහතා නිවෙසේ සිට නැත. පොලිස් විශේෂ කාර්ය බළකාය ඒ මහතාගේ පහළොස් හැවිරිදි පුත්‍රයා ඔවුන් භාරයට ගෙන නිධානයේ බඩු ටික තියෙන තැන කියපන් හැබැයි අපට ඒවා අහුවුණොත් උඹලා ඔක්කොම හිරගෙදර යනුවෙන් පවසමින් බියගන්වා නිවෙසේ අස්සක් මුල්ලක් නෑර සෝදිසිකර තිබේ. පසුව ඔවුන්ම රැගෙන ආ යකඩ ඉනි භාවිත කර නිවසේ භාවිත නොකරන නානකාමරයේ පොළොව කඩා නිදන් වස්තු සොයා තිබේ. එහෙත් ඔවුන්ට කිසිදු නිදන් වස්තුවක් හෝ හෙරොයින් මිලිග්‍රෑම් එකක ප්‍රමාණයක්වත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාසල් සිසුවකු වන 15 හැවිරිදි එච්. එම්. තරුෂ්ක හේරත්, සිද්ධිය වෙන වෙලාවේ තාත්තා ගෙදර සිටියේ නෑ. තාත්තා හරිම බයෙන් හැංගිලා ඉන්නේ පොලිසිය දිගින් දිගටම එයාට කරදර කරන නිසා.

පසුගිය මාස දෙකේ අවස්ථා කිහිපයක්ම පොලිසියෙන් ඇවිල්ලා හංගලා තියෙන නිදන් බඩු දෙන්න කියලා තාත්තාට කරදර කළා. පස්සේ කුඩු වගේ පාර්සලයක් ත්‍රිරෝද රථය ඇතුළට දාලා පොලිසිය තාත්තව අත්අඩංගුවට ගන්න හැදුවා.

අලවංගු අරගෙන ඇවිල්ලා නානකාමරය කඩන්න පටන් ගත්තා. මට කිව්වා පුතා රත්තරං බුදුපිළිමයයි, පුල්ලෙයාර් පිළිමයයි, මුතු මැණික් ටිකයි තියෙන තැන කියන්න අපි භාගයක් අරගෙන ඔයාලට ඉතුරු භාගය දෙන්නම් කියලා. හැබැයි අපිට හම්බ වුණොත් එහෙම මුළු පවුලටම ඇප ගන්න බැරි විදියට හිරේ දාලා බඩුටික කෞතුකාගාරයට දෙනවා කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇති නිදන් බඩුවක් නෑ තියෙනව නම් හොයාගන්න කියලා. පැය ගාණක් අපේ ගෙදර හිටපු අයට කුණුහරුපෙන් බැන බැන කාටවත් එන්න බැරි විදියට ගේට්ටුව ලොක් කරලා හැමතැනම පෙරළ පෙරළා හෙව්වා. හැබැයි කුඩු හම්බ වුණෙත් නෑ වෙන මොනවත් හම්බ වුණෙත් නෑයි සිසුවා පැවසුවේය.

පෙරේදා (12දා) දවල් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන් කියන මහත්තයා ඇතුළු පිරිසක් ඇවිත් තියෙනවා කුඩු කිලෝ පහක් අල්ලන්න. පස්සේ පුතාගෙන් ඉල්ලලා තියෙන්නේ නිදන් වස්තු. මේක කරවන්නේ අනුරාධපුරයේ දේශපාලනඥයෙක්.

මේ මිනිස්සුන්ට ඔළුවක් තිබ්බට මොළයක් නැති නිලධාරියෝ. ආපු වාහනේ අංක තහඩු දෙක දෙහියි කොහොඹ කොළ අත්තකින් මුවා කරගෙනයි ඇවිත් තියෙන්නේ. පාරේ හිටපු යාළුවෙක් ඒකේ ෆොටෝ එකක් ගහගෙන. එහි ලියාපදිංචි අංකය ඩබ්ලිව්. පී. සී. ඒ. යූ. 1499 කියලා අනාවරණය කරගෙන තිබුණා.

විශේෂ කාර්ය බළකා සෙබළුන් පිරිසක් නිදන් වස්තු සෙවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ලතීෆ් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය. අපේ කණ්ඩායමක් හෙරොයින් වැටලීමක් සඳහා ගිහින් තියෙනවා. අනුරාධපුර කඳවුරේ නිලධාරීනුත් වැටලීමට ගිහිල්ලා. මම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කලාපය භාර පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා යැයි ඒ මහතා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon