සමන්ත හේරත්ලාගේ අලුත් නිර්දේශය විසි වෙයි

  👤  3246 readers have read this article !
By mawbima 2017-12-14

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2019 වසරේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් 2017 වසරේ සිට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා හඳුන්වා දෙන ලද නව විෂය නිර්දේශය ක්‍රියාත්මක වීම නවතා දැමීමටත් පැරැණි නිර්දේශය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත හේරත්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ මාධ්‍ය උපදේශක ආචාර්ය එඩ්වින් ආරියදාස යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලයක් විසින් සකස් කරන ලද මේ විෂය නිර්දේශය සම්බන්ධව මතුව ඇති ගැටලු පිළිබඳ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම්වරයා වාර්තාවක් කැඳවන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ යටතේ නව විෂය නිර්දේශය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් පැරැණි විෂය නිර්දේශය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව 2019 උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන මෙම විෂය හදාරන සිසුන්ට පැරැණි විෂය නිර්දේශය උගන්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුළු පාසල් ප්‍රජාව වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon