දුම්රිය වර්ජනය අවසන්

  👤  2723 readers have read this article !
By mawbima 2017-12-14

උපතිස්ස පෙරේරා

ලක්‍ෂ ගණනක් දුම්රිය මගීන් පීඩාවට පත්කරමින් දින 7ක් තිස්සේ පවත්වාගෙන ගිය දුම්රිය වැඩ වර්ජනයට අදාළ කරුණු සොයා බැලීමට පත්කළ ඇමැති කමිටුව හා දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ (13දා) දහවල් පැවැති සාකච්ඡාවකදී පැමිණි එකඟතාවකට අනුව වර්ජනය නිමාවට පත්විය.

දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට හා සහකාර දුම්රිය රියැදුරන් බඳවා ගැනීම අත්හිටුවීමට එම සාකච්ඡාවේදී තීරණයකට එළඹ ඇති අතර ඒ අනුව දුම්රිය සේවාවේ සියලු බඳවා ගැනීම්, උසස්වීම් ඇතුළු පරිපාලනය දුම්රිය දෙපාර්තමේන්තුවට පැවැරේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ පරිපාලන හා වැටුප් ප්‍රශ්න සියලුම නිලධාරීන් කැඳවා, වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවීමට කමිටුව එකඟතාව පළකර තිබේ.

දුම්රිය වැඩවර්ජන ක්‍රියාවලියට සම්බන්ධ වූ කිසිදු නිලධාරියකුට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග නොගන්නා බවටද එහිදී එකඟවී තිබේ.
ඊයේ සවස වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර රාත්‍රි තැපැල් දුම්රිය සේවා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon