ලංකාව අද දිනුවොත් තවත් අලුත් වාර්තාවක්

  👤  3328 readers have read this article !
By mawbima 2017-12-13

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13දා) මොහාලිහිදී පන්ජාබ් ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතය.

පළමු තරගයේදී ලැබූ ජයග්‍රහණය හේතුවෙන් යහපත් මානසිකත්වයෙන් යුතුව අද තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව ඇති නමුත් පළමු තරගයේදීම ලැබූ පරාජය මෙන්ම තම රටේදීම මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් විශාල පීඩනයක් යටතේ ඉන්දියානු කණ්ඩායමට අද තරගය සඳහා මුහුණ දීමට සිදුව තිබේ.
ජාත්‍යන්තර එක්දින ශේ්‍රණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රබල ඉන්දියානුවන් පිළිබඳව ලෙහෙසියට ගතහොත් එයින් අත්වන ප්‍රතිඵල පිළිබඳව ශ්‍රී ලංකා පිල හොඳින් දන්නා බැවින් අද තරගයත් ජයගනිමින් තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් පිඹුරු පත් සකසා ගෙන ඇති බවට සැක නැත.

ඒ අනුව අද පැවැත්වෙන තරගයෙනුත් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුවහොත් 1982 වසරේ සිට ආරම්භ වූ ශ්‍රී ලංකා-ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාව හමුවේ තරගාවලියක් ජයගන්නා පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වීමට නියමිතව ඇති අතර, මෙයට පෙර එනම් 1997 වසරේදී ඉන්දියාවේදී පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ අවසන් වී ඇත. අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බව වාර්තා වන නමුත් ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද පැවැසේ.
ඒ අනුව පළමු තරගයේදී එක්දින වරම් දිනාගත් ශි්‍රයාස් අයියර් මෙන්ම දිනේෂ් කාර්තික් වෙනුවට අජින්ක්‍යා රහනේ හා අසාර් පටෙල් අද ඉන්දියානු කණ්ඩායමට එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගිය ඉරිදා පැවැති තරගයෙන් අනතුරුව අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධරමශාලා නුවර සිට අද තරගය පැවැත්වෙන මොහාලි වෙත ළඟාවීමට ප්‍රමාද වී තිබිණි. ඒ අනුව සඳුදා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් යානා පිටත්වීම ප්‍රමාද වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අපහසුතාවට මුහුණ දී තිබිණි.

කෙසේ වෙතත් අවසන් වරට එනම් 2014 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ නමුත් මෙවර පළමු තරගයම ජයගෙන තිබීම නිසා අද පැවැත්වෙන තරගයත් ජයගෙන දෙරට අතර පවතින අවුරුදු 35ක එක්දින ක්‍රිකට් ඉතිහාසය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කරනු ඇති බවට සෑම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලියකුගේම ප්‍රාර්ථනාව වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon