වැඩවර්ජනයට සහාය නොදුන් අයට ‘හොරිකඩ දීමනාවක්’ ගෙවන්න යනවා

  👤  2927 readers have read this article !
By mawbima 2017-12-13

හර්ෂනී අර්සකුලරත්න

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එක්වී පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ අඛණ්ඩ වැඩ වර්ජනයට සහාය නොදැක්වූ ලං.වි.ම. සේවක පිරිස් වැඩවර්ජනය පැවැත්වුණු දින 7 1/2 සඳහා අපූරු ලංසුවක් තබා ඇතැයි විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවැසීය.
වැඩ වර්ජනයට සහාය නොදක්වා සේවයේ නියුතුවීම වෙනුවෙන් එම සේවකයන්ට දිනක නියමිත වැටුපට වඩා විශාල මුදලක් වැටුප් ලෙස වර්ජනය පැවැති දින 7 1/2 සඳහා ගෙවීමට නියමිත බවද හෙතෙම පැවැසීය.

එසේ සේවයේ නියුතු සතියේ එක් දිනක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන දිනක වැටුප මෙන් තෙගුණයක්ද, සති අන්තයේ සේවයේ යෙදුණු එක් දිනයක් සඳහා දිනක වැටුප මෙන් සිවුගුණයක්ද ලෙසින් එම වර්ජනය ක්‍රියාත්මක වූ දින 7 1/2 සඳහා එම සේවකයන්ට ගෙවීමට පාලනාධිකාරිය චක්‍රලේඛ පවා නිකුත් කරමින් තීරණය කර ඇතැයි ඔහු පැවැසුවේය.
මේ දින කිහිපය සඳහා ලං.වි.ම. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ පමණක් වැටුප රුපියල් ලක්‍ෂ 2 ඉක්මවන බවද ඔහු පැවැසුවේය.
ලං.වි.ම. තුළ පවතින දූෂණයට හා අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව සේවකයන් වැඩවර්ජනයක නියැළෙද්දී ඒ දිනවල රාජකාරියේ නියුතු වුණා යැයි කියමින් හොරිකඩ දීමනාවක් ගෙවීමට යෑම වැරැදි පූර්වාදර්ශයක් බව හෙතෙම පවසති.

වැඩ වර්ජනය නිමා කිරීම සඳහා එකඟතාවට පැමිණි 12 (1) ගිවිසුමද උල්ලංඝනය කරමින් ලං.වි.ම. අහිංසක සේවකයන් වෙත ලබාදෙන ප්‍රසාද දීමනා, වෛද්‍ය දීමනා, අතිකාල දීමනා කප්පාදු කරමින් සේවක මර්දනයේ නිරත වන බවටද චෝදනා නැඟීය.
රුපියල් කෝටි 60ක සිල් රෙදි හොරකමට ක්‍රියාමාර්ග ගන්නා ආණ්ඩුවට විදුලි බල මණ්ඩලය වෙත රුපියල් කෝටි 225ක අගතියක් ළඟාකරමින් සිදුකළ නීති විරෝධී වැටුප් ඉහළ දමා ගැනීම පිළිබඳ වගේ වගක් නොමැති බවද පැවැසුවේය.

ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයවීමෙන් පසුගියදා (11දා) ඇරැඹූ අඛණ්ඩ උපවාසය අද (13) තෙවැනි දිනටත් ලං.වි.ම. මූලස්ථානය ඉදිරිපිටදී ක්‍රියාත්මක වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon