සහල් හිඟයක් මවා පෑමේ හේතුවෙන් මෝල් 99%ක් වසා දමලා

  👤  3276 readers have read this article !
By mawbima 2017-12-13

දඹුල්ල - කේ.කේ. ආරියදාස

කෘත්‍රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සියයට අනූනවයක් වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

වර්තමානයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් රටේ සහල් හිඟයක් නොමැතිව ව්‍යාපාරිකයන් විසින් සහල් පිටරටින් ගෙන්වා විදේශීය සහල් දේශීය සහල් බවට පත්කොට අලෙවි කරන කූට ජාවාරම පිළිබඳව හෙළිදරව් කිරීමේ අරමුණෙන් දඹුල්ල ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය මේ බව අනාවරණය කළේය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්ව මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂත්වයකි.

මාධ්‍ය හමුව ඇමතූ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේ, පසුගිය කාලයේ ඇතිවූ නියඟය හේතුවට වඩා මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවී සහල් නිෂ්පාදනය කරන මුවාවෙන් මහා පරිමාණ වී මංකොල්ලයක් සහ සහල් මංකොල්ලයක් සිදු කළ බවය.
ලංකාව පුරාම සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ආයතන වසා දැමීමට සිදුව ඇති බවත් සහල් මෝල් ආශි්‍රතව සේවය කළ විසිපන්දාහක් පමණ පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සිය ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ලබාගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල්වලට රජය මඟින් යම්කිසි හෝ සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ කරන සෑම අවස්ථාවකදීම අදෘශ්‍යමාන බලවේගයක් පැමිණ එය ව්‍යර්ථ කරන බවද හෙතෙම පැවැසීය. අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක් රජය නම් කර ඇති බවත් තමන් ප්‍රශ්න කරනු ලබන්නේ සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් නොකොට කට්ට කරවල, සාලයා, පරිප්පු සහ පොල් සඳහා පාලන මිලක් දැමූ බවය. ලංකාවේ ජනතාව කට්ට කරවල කන්නේ සාලයා සමඟද සාලයා කරවල කන්නේ පරිප්පු සමඟද පරිප්පු කන්නේ පොලුත් එක්කද මේ රටේ ජනතාව බත් කන්නේ නැද්ද යන්න ප්‍රශ්නයක් පැන නඟින බව ඔහු කීය.

මාස අටක පමණ කාලයක සිට රජය විදේශ රටවලින් සහල් ගෙන්වන බවත් එම ගෙන ආ සහල්වලට රුපියල් 60ට අඩුවෙන් වියදමක් යන බවත් එහෙත් ඒ සියලු හාල් තොග පොළොන්නරුවට ගෙන ගොස් නැවත දේශීය සහල් බවට පත්කොට රුපියල් සියයකට එහා මුදලකට රට පුරා අලෙවි කරන බවටද හෙතෙම චෝදනා කරන්නට විය.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද අදහස් දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon