මිද්දෙණියේ වෙඩි තැබීමකින් තරුණයෙක් රෝහලේ

  👤  3244 readers have read this article !
By mawbima 2017-12-13

තංගල්ල - සහම්පති මානගේ

මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ ඊයේ (12දා) උදෑසන 7.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මිද්දෙණිය පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ළහිරු නිවෙස, කාරියමඩිත්ත නිවෙසේ පදිංචි ජේ.ඩබ්ලිව්. පී. ළහිරු සඳරුවන් (27) නම් තරුණයෙකි. පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති කරුණුවලට අනුව මෙම වෙඩි තැබීමට හේතුව දෙපිරිසක් අතර ඇති වූ පැරැණි ආරවුලකි. තුවාල ලැබූ තරුණයා මිද්දෙණිය කාරියමඩිත්ත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාල ලබා සිටින තරුණයාගේ මව වන ඒකනායකගේ කුසුමාවතී මහත්මිය මෙසේ පැවැසුවාය.
උදේ මම මිදුල අතුගාද්දී දරුව බත් කාලා ඉවරවෙලා කඩේට ගියා. ඒ ගිහිල්ලා විනාඩි තුනක් හතරක් විතර ගියාට පස්සේ මට ඇහුණා වෙඩි සද්දයක්. එකක් ඇහිලා ටික වේලාවකට පස්සේ තව එකක් ඇහුණා. මහගෙදර බේබි දරුවට වෙඩි තියලා හැංගිලා ඉඳලා අන්නාසි වත්ත කෑල්ලෙ. දරුවට එක පාරක් වෙඩි තිබ්බට පස්සෙ අනෙක් එක තියෙන කොට පහත් වෙලා. දරුව ඉස්සරහ ගෙදරට දුවල ගිහින් කියලා වෙඩි තිබ්බ කියලා අපේ ගෙදරට කියන්න කියලා. මම යනකොට ඉස්සරහ ගෙදර දරුවා හිටියා. එහි ගොඩක් අය වටවෙලා. මං කෑ ගහනකොට දරුව කිව්ව බය වෙන්න එපා අම්මෙ මං මැරෙන්නෙ නෑ කියලා. පස්සේ ඇඹිලිපිටිය පැත්තට යන වාහනයක් නවත්තගෙන දරුවව කාරියමඩිත්ත හොස්පිට්ල් එකට අරන් ගියා.


මගේ දරුවට මේ දේ වෙන්න දවස් අටකට විතර කලින් මගේ ගෙදර හිටපු බල්ල මැරුවා. දැන් ඉන්න පොඩි පැටියටත් වෙඩි තියලා උගේ බෙල්ලෙ කැටේකුත් තියෙනවා. පොලිසිත් ගියා ඒකට. නඩු ඕන නැහැ කියලා සාමදාන වුණා. එයාගේ හිතේ ඔහොම තරහක් තියෙනවා කියලා අපි දන්න් නෑ. අපේ බල්ල මරන්න හේතුව මෙයාලගේ ගෙදරට නිතරම වාහන එනවා. හොඳ හොඳ වාහන එන්නේ. කුඩු බිස්නස් කරනවා එයා. ඒවට කරදර කරන නිසා තමයි බල්ල මැරුවේ. එයාගේ හිතේ තරහක් තියෙනවා කියලා අපි හිතුවෙ නෑ. උදේ පාන්දර දරුවට වෙඩි තියලා දරුව ලේ වැක්කෙරි වැක්කෙරි හිටියේ. මගේ දරුවට කරපු අපරාධයට නිසි පියවරක් ගන්න ඕන.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි 2 බී.එම්. දසනායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිවුන්ඇල්ල, උප පොලිස් පරීක්ෂක ගුණසේන මහතා ඇතුළු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීහු හා අපරාධ ස්ථානීය පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon