අසීමිත හුවමාරු නිදහස හිමි වූයේ සයිබර් අවකාශයේ ඉබාගාතේ යාමට නොවේ

  👤  3180 readers have read this article !
By mawbima 2017-12-13

අප ජීවත්වන යුගය මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂි අවධියක්. මේ අවධිය නම් කොට තිබෙන්නේ සන්නිවේදනය කේන්ද්‍ර කොට ගෙනයි.මේ යුගයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ විස්මයජනක ශීඝ්‍රතාවකින් ලෝකය වෙනස්වීමයි.

මීට වසර 30-35 පෙර ප්‍රචලිතව නොතිබූ ගෝලීයකරණය යන්න අද අතිශය සාමාන්‍ය ව්‍යවහාරයක් බවට පත් වෙලා. ගෝලීයකරණය යථාර්ථයක් ලෙස අත්දකින්නට ලෝක සමාජයට සිදු වුණේ සන්නිවේදන හා විඥාපන තාක්ෂණයේ අසාමාන්‍ය අභිවර්ධනය නිසයි. ලෝක පරිමාණයෙන් සිදුවන මේ විපර්යාසය අප සියලු දෙනා ඓන්ද්‍රීයව අත්දකිමින් සිටිනවා. ඒ බලපෑමට ගොදුරු වෙමින් තිබෙනවා.

මානව ඉතිහාසයේ කිසිදු කාලෙක සිදු නොවූ ආකාරයට අප අන්තර් සම්බන්ධතා පවත්වනවා. අද 'දුර' යන්න කිසිසේත් වැදගත් වන්නේ නැහැ. අද වැදගත් වන්නේ කොපමණ දුරට ක්‍ෂණිකව සම්බන්ධ විය හැකිද යන්න පමණයි.
සංස්කෘතික වශයෙන් සිදු වන ගෝලීයකරණය අතිශය බරපතළයි. ඒත් ඒ බරපතළකම දැනෙන්න නැහැ. වැටහෙන්නේ නැහැ. ඊට හේතුව ඒ විපර්යාස සමුදාය අපේ ජීවිත බවට පත්ව තිබීමයි.

එදා ගල්ලෑල්ල අරගෙන පාසලට ගිය දරුවා අද ටැබ් එකක් ඉල්ලනවා. එදා ලාම්පු දැලි හා එඬරු කිරි එකතු කොට පාසල් කළු ලෑලි පාට කළ දරුවා අද මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයෙන් ඉගෙන ගන්නා විට ඒවා ජංගම දුරකතනවලින් ඡායාරූප ගත කරනවා. එදා වංගෙඩියේ පිටි කොටමින් පුළුලුකුල සහිතව ශරීරය හැඩගස්වා ගත් කාන්තාව අද ජිම් යනවා. මේ ජාලගත සමාජය, සමාජයේ කේන්ද්‍රය සූක්ෂ්ම විද්‍යුත් පරිවර්තනයයි.

අපට ඔරොත්තු නොදෙන තරම් ගලාහැලෙන විඥාපන ධාරාව අපේ ජීවිතය යටකරගෙන පිටාර ගලනවා. මේ විඥාපනවල ප්‍රමුඛතාව පිළිබඳ අප කලබල වන්නේත් නැහැ.
සමාජ ජාලගත වීම් නිසා හුවමාරු කරගන්නා විඥාපනහි සීමා රහිත වෙලා. ඒවායේ අන්තර්ගතය, ප්‍රකාශන විලාසය, උචිත අනුචිත බව, ඵලදායිතාව, අවශ්‍යතාව පිළිබඳ වාරණයක් හෝ සීමාවක් නැහැ. වර්තමානයේ තිබෙන මුහුණු පොත ඇතුළු සමාජ ජාල මේ අසීමිතතාව ඉතා හොඳින් ප්‍රතිබිම්බනය කරනවා.
නව මාධ්‍ය විශාල ලෙස සමාජ ආකර්ෂණයට ලක් වෙලා. කාලයක් තිස්සේ ජනමාධ්‍ය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අද සාම්ප්‍රදායික මාධ්‍ය හැටියට සැලකෙනවා. ඒත් ආයතනික ව්‍යුහ සහිත ජනමාධ්‍යවලට වඩා නව මාධ්‍ය සංස්කෘතිය ශ්‍රී ලාංකික ජන සමාජයේ බොහෝ ප්‍රචලිත වෙලා. සමාජ මාධ්‍ය වත්මන තරුණ පරපුර දැඩි ලෙස වැලඳගෙන තිබෙනවා.

සමාජ මාධ්‍යය හා එහි බලපෑම පිළිබඳ විවිධාකාර නිරීක්ෂණ, විවේචන, ආකේ‍රා්ශ පරිභව තිබෙනවා. කුමන අභිනව නිර්මිතයක් වුවත් සමාජගත වන විට ඒ සම්බන්ධ මහා පරිමාණ භීතියක්, ප්‍රතිවිරෝධයක් හට ගැනීම ඉතිහාසයේ සෑම යුගයකම සිදු වුණා. වත්මන් සමාජ මාධ්‍ය ගැන සාම්ප්‍රදායික විදග්ධ සමාජයෙන් වැඩිහිටි සමාජයෙන් එල්ල වන විවේචනත් අපේක්ෂා කළ හැකි තත්ත්වයක්. කුමන ප්‍රතිවිරෝධයක් එල්ල වුවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. සමාජ මාධ්‍ය දෙස අගතියෙන් යුතුව බැලීම කිසිසේත් අර්ථසම්පන්න නැහැ. අප කැමැති වුණත් නැතත් සමාජ මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහක සමාජය දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ යථාර්ථය අප වටහා ගත යුතුයි.

ඒත් සමාජ මාධ්‍ය සාධනීය හා සමාජ ප්‍රගතිගාමික ලෙස උපයෝගි කර ගත හැකි ආකාරය ගවේෂණය කිරීමත් ඉතා වැදගත්. එදා පුවත්පතකින් යම් ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත්වීම සරල සංසිද්ධියක් නෙවෙයි. පුවත්පත් කලාව දැඩි සමාජ වගකීමකින් කළ යුතු කාර්යයක්. ගෞරවනීය වෘත්තියක්. ඒත් සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ වෘත්තීය ජනමාධ්‍යවේදීන් නොවන බහුතරය සමාජය වෙත තමන්ට කැමැති කැමැති තොරතුරු මුදා හරිනවා. අවසරයකින් හෝ අධීක්ෂණයකින් තොරව තිබෙන නිදහස නිර්මාණාත්මක ප්‍රකාශ සම්බන්ධවත් බරපතළ ලෙස බලපා තිබෙනවා.

සමාජ මාධ්‍යලෝලීන්ගෙන් ඉතා ගෞරවයෙන් එක් ප්‍රශ්නයක් අසා සිටින්න මා කැමැතියි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ සරස්වතී අභිනන්දන ගීතයේ එක් පේළියක් නිවැරැදිව තේරුම් ගැනීමේ හෝ තවත් කෙනකුට තේරුම් කර දීමේ හැකියාව ඔබට තිබේද? සාම්ප්‍රදායික ජනමාධ්‍යවලට වඩා වෙනස් වූ සමාජ මාධ්‍ය ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ චින්තනය හා චර්යාව හැඩහුරු ගැන්වීම සඳහා බලපා තිබෙනවා. ඒත් මේ අසීමිත හුවමාරු නිදහස ඇත්තේ සයිබර් අවකාශයේ ඉබාගාතයේ පියාසර කිරීම නෙවෙයි. ආනන්ද කුමාරස්සාමි, පරණවිතාන, කුමාරතුංග මුණිදාස, මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, චිත්‍රසේන, ලෙස්ටර්, අමරදේව, කේමදාස ආදීන් නොහඳුනන අනාගත පරපුරක් නෙවෙයි අප අපේක්ෂා කරන්නෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon