තමන්ට කියා බිම් අඟලක්වත් නැති මවුපියෝ දරු දෙදෙනාගේ අධ්‍යාපනයට අත හිත පතති

  👤  4000 readers have read this article !
By mawbima 2017-12-12

තම දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතු සඳහා විශිෂ්ට දක්ෂතා දක්වන නමුත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට නොහැකි මවුපිය යුවළක් දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි කාරුණික හදවත් ඇත්තන්ගෙන් ඉල්ලා සිටිති.

බණ්ඩාරකොස්වත්ත, කොළොන්ගස්යාය, විල්බාගෙදර පදිංචිව සිටින එම්. ඒ. අනිල් විජේවර්ධන හා එම්. ඩබ්. නිලන්ති කුමාරි මෙම මවුපිය යුවළයි. තමන්ට කියා මේ මිහිතලය මත බිම් අඟලක් හෝ නොමැති අතර ඔවුහු දරු දෙදෙනා සමඟ මේ වන විට ඥාතියකුට අයත් කුඩා නිවෙසක තාවකාලිකව පදිංචිව සිටිති.

ඔවුන්ගේ වැඩිමහලු දියණිය වන මෙම වසරේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ උසස් පෙළ වාණිජ අංශයෙන් "ඒ" සාමාර්ථ තුනක් ලබා මේ වන විට ව්‍යාපාර අධ්‍යයනය පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත්ව සිටී. බාල දරුවා වන සඳුන් කාංචන විජේවර්ධන මෙම වසර ශිෂ්‍යත්ව විභාගයට පඬුවස්නුවර, විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයෙන් පෙනී සිට ලකුණු 181 ලබා කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් වීමේ වරම් ලබා සිටී. ඔහු විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ වසර 65ක ඉතිහාසය තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුවා ලෙස සිය නාමය සටහන් කරන්නටද සමත් වීම කැපී පෙනේ. ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත්තේ කිසිදු බාහිර උපකාරක පන්තියකට සහභාගි නොවීමෙන් වීම විශේෂිතය.

ඔවුන් දැනට පදිංචි වී සිටින ස්ථානයට පැමිණීමට පෙර අන්‍යයන්ට අයත් ස්ථාන ගණනාවක පදිංචිව සිට ඇති අතර ඒ සෑම ස්ථානයකදීම දෛනික කුලී වැඩ සිය සැමියා යෙදුණු එකම වෘත්තීය වූ අතර ඔහු ඉපැයූ සෑම මුදලක්ම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු හා පෝෂණය වෙනුවෙන් යෙදවූ බව නිලන්ති කුමාරි මහත්මිය පවසයි.
මේ අතර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දියණිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය සඳහා ගියේ පවුලේ අගහිඟකම් අවම කර ගැනීමට සුළු හෝ දායකත්වයක් ලබාදීමේ අරමුණෙනි.

මේ වන විට පියා වන අනිල් විජේවර්ධන දෛනික කුලී පදනම යටතේ ගස් කැපීම, ගස්වල අතු කැපීම වැනි අවදානම් කටයුතුවල යෙදී සිටින අතර බිරිය නිලන්ති කුමාරි මහත්මියද ඔහුට සහාය වන්නීය. මේ පසුබිම තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එක් නොවී රැකියාවක නිරත වන්නට මවුපියන්ගෙන් අවසර ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය ලැබීමට ඇති අකැමැත්ත නිසා නොව මවුපියන් තමන් වෙනුවෙන් තවත් දුක් ගැහැට විඳිය යුතු නැත යන හැඟීමෙන් මඬනා ලද සිතිවිලි නිසාය. ඇය තර්ක කරනුයේ කුඩා හෝ නිවෙසක් ඉදිකර ගැනීමට ඉඩම් කැබැල්ලක් මිලට ගැනීමට හා සිය සොහොයුරාට හොඳින් අධ්‍යාපනය ලබාදීම සඳහා තමා උසස් අධ්‍යාපනය කැප කළ යුතු බවයි.
කිසිදු බාහිර උපකාරක පන්තියකට හෝ සහභාගි නොවී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 2ක් ලබා ගනිමින් හා උසස් පෙළ ඒ සාමාර්ථ 3ක් ලබා ගනිමින් අධ්‍යාපනයට දස්කම් දැක්වූ ඇය රැකියාවකට යැවීමට සිත හදා ගත නොහැකි මව හා පියා ප්‍රකාශ කර සිටින්නේ අනුන්ගේ නිවෙසක සිටිමින් දෛනික කුලී වැඩවල නිරත වෙමින් හෝ දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදීමට තමන් කැප වන බවයි.

ඔවුන් තුළ ඇති අප්‍රතිහත ධෛර්යයට ශක්තියක් වෙමින් මෙම දක්ෂ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට කාරුණික හදවත් ඇති ඔබ සැමගේ අවධානය යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි.
පහත අංකය ඔස්සේ ඔබට ඔවුන් ඇමතිය හැකිය.

මව නිලන්ති කුමාරි - 072-5687284
හිරියාල -
කේ. පී. සුනිල්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon