කුං ෆූ සන්දර්ශන මාලාවක් 12 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේදී

  👤  3168 readers have read this article !
By mawbima 2017-12-08

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන වසර 65ක් සපිරීම සහ දෙසැම්බර් 18 වැනිදාට යෙදෙන රබර්-සහල් ගිවිසුම අස්සන් කර වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස ෂැවොලින් කුං ෆූ සන්දර්ශන මාලාව එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් චීන-ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා-චීන සමාජය සහ ශ්‍රී ලංකා-චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කරන මෙම ෂැවොලින් කුංග් ෆූ සන්දර්ශන මාලාව සඳහා ෂොන්ශාන් ෂැවොලින් ස්වාමීන් වහන්සේගේ විහාර පුහුණු කඳවුරේ සටන් ශිල්පීන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වන අතර එවන් සන්දර්ශනයක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මේ අතර මෙම සන්දර්ශන මාලාවේ පළමුවැන්න එළඹෙන දෙසැම්බර් 12 වැනිදා සවස 5.30ට මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද? දෙවැන්න දෙසැම්බර් 13 වැනිදා සවස 5ට පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී ද? තුන්වැන්න දෙසැම්බර් 15 වැනිදා සවස 3.30ට හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද පැවැත්වේ. කෙසේ වෙතත් සන්දර්ශන මාලාව පැවැත්වෙන අවසන් දිනය වන දෙසැම්බර් 17 වැනිදා පෙරවරු 10ට විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සහ සවස 6.30ට නෙලුම් පොකුණ රඟහලේදීද සන්දර්ශන පැවැත්වෙන අතර මෙම සියලු සන්දර්ශන නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.

සන්දර්ශනයට එක්වන සටන් ශිල්පීන් කණ්ඩායම එළැඹෙන 11 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර සෑම සන්දර්ශනයක්ම මිනිත්තු 90ක කාලයක් පැවැත්වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon