කවුරුන් මොනව කිව්වත් මෛත්‍රි-රනිල් දීගේ කැඩෙන්නේ නැහැ

  👤  3198 readers have read this article !
By mawbima 2017-12-08

දකුණේ ජනතාව හමුවේ ජාතිවාදය අවුස්සමින් බෙදුම්වාදයට එරෙහිව කතා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන් අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙමළ බෙදුම්වාදී හිටපු කොටි සාමාජිකයන් උතුරු පළාතේ පළාත් පාලන මැතිවරණය සඳහා යොදා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

අනුරාධපුරය, නොච්චියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

එහිදී අමාත්‍ය පී. හැරිසන් මහතා මෙසේද කීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ අනුව සියයට හැත්තෑවකට වඩා පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය තම පක්‍ෂය හිමිකර ගන්නවා.

පළාත් පාලන මැතිවරණ බොහෝ විට ලබන වසරේ පෙබරවාරි මස 17 වැනිදා පැවැත්වීමට දළ වශයෙන් තීන්දු කර තියෙනවා. මැතිවරණ කොමිසම ලබා දෙන තීරණය තමයි අවසාන තීරණය වෙන්නේ. මැතිවරණ කොමිසම නියම කරන දිනයක මැතිවරණය පැවැත්වීමට පක්‍ෂයක් හැටියට අපි ලෑස්තියි.
ඒකාබද්ධ විපක්‍ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි එකතු වෙන්න හැදුවා. මේ තියෙන යහපාලන දීගේ කඩාගෙන වෙන දීගයක් ආරම්භ කරන්න හැදුවා. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි අතර තියෙන සම්බන්ධය කැඩෙන්නේ නැහැ. මේ දීගය 2020 වසරෙන් එහාටත් යන්න පුළුවන්. ඒ ගැන කවුරුත් කලබල විය යුතු නැහැ. සුළු පක්‍ෂ ගණනාවක් එක්සත් ජාතික පෙරමුණ විදියට පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට නියමිතව තිබෙනවා.

පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතුවෙලා මේ මැතිවරණයේදී තරග කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයෙක් වන එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. දකුණේ ජනතාව හමුවේ ජාතිවාදය අවුස්සමින් බෙදුම්වාදයට එරෙහිව කතා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන් අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙමළ බෙදුම්වාදී හිටපු කොටි සාමාජිකයන් උතුරු පළාතේ පළාත් පාලන මැතිවරණය සඳහා යොදා ගැනීමට ක්‍රියා කරනවා. එදා ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විවිධ පාර්ශ්වයන් සමඟ සම්බන්ධව කටයුතු කළා. එදා කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය හිටියේ කවුරුන් ළඟද? ඒක අලුත් දෙයක් නෙවෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය එක් පැත්තකින් ජාතිවාදය ගැන කතා කරනවා. අනෙක් පැත්තෙන් අන්තවාදීන් එක්ක එකතු වෙලා වැඩ කරනවා. කියන කොට එකක් කරන කොට තව එකක් යන න්‍යායෙන් වැඩ කරන්නේ. එහෙම වැඩ කර ඒකාබද්ධ විපක්‍ෂය කල්පනා කරනවා මේ රටේ බලය අල්ල ගන්නේ කොහොමද කියලා. ඒක හීනයක් විතරයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව අය-වැය විවාදයේ පළමු වර කියවීම සම්මත කර ගත්තේ. ඒකාබද්ධ කණ්ඩායම මොන නැටුම් නැටුවත් වැඩක් වෙන්නේ නැහැ.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon