මෛත්‍රියි මහින්දයි එකතු වුණත් නොවුණත් ජනතාවට වෙන සෙතක් නැහැ

  👤  3206 readers have read this article !
By mawbima 2017-12-08

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015 මාර්තු මාසේ ඉඳලා 2016 මාර්තු දක්වා අවුරුද්දක කාලය තුළ පමණක් ලැබූ ලාභය රුපියල් කෝටි 530ක්. මෙතරම් ලාභයක් ලබන්න ඒ අය යොදවලා තිබුණේ මොනවාද? ඒ අයගේ පොඩි ගොඩනැඟිල්ලක කොම්පියුටර් හතරයි. කාර්ය මණ්ඩලය විස්සයි. මේ වගේ ලාභයක් ලබන්න පොල්පිතිගම ප්‍රාදේශීය සභාවට අවුරුදු දහසක් ගත වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ පොල්පිතිගම, ගල්ටැන්වැව සතිපොළ භූමියේ පසුගියදා පැවැති රැස්වීමක් අමතමිනි.

එහිදී ජ.වි.පෙ. නායකයා මෙසේද පැවැසීය.
2015 ජනාධිපතිවරණය කියන්නෙ මේ රටේ මැතිවරණ ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා අල්ලසට, දූෂණයට, හොරකමට එරෙහිව ජනතාව පෙළගැසුණු හොරුන්ට දඬුවම් දෙන්න කියලා ඉල්ලා සිටිය මැතිවරණයක්. මෛත්‍රි මහත්තයා වේදිකාවේ කිව්වේ ඡන්දයට පහුවදා හොරුන්ට රට පනින්න බැරි වෙන්න කටුනායක එයාර්පෝට් එක වහනවා කියලා. නමුත් හොරු අදටත් ඉතාම ආරක්‍ෂිතව ඉන්නවා. ඒ වගේම මැතිවරණය අවසන් වෙලා මාස දෙකක් ගත වෙන්නත් කලින් මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා. මේ අය බලය ගන්නෙම හොරකම් කරන්න. ආයෙ කිසිම සැකයක් නැහැ. මේ මහා හොරකම නිසා ඔබගේ උකස් කරපු සෑම රන් භාණ්ඩයකටම පොලිය වැඩිවුණා. සෑම ණය වාරිකයම පොලිය වැඩි වුණා. දැන් රනිල් මහත්තයාගේ කට්ටිය කියනවා අපි රට හැදුවා. ගමත් හදන්න බලය දෙන්න කියලා. ඔබේ ඡන්දය ඉල්ලයි. මතක තියා ගන්න ලංකාවේ ප්‍රධානම බැංකුව මහ දවල් මංකොල්ල කාපු මේ අයගෙ ගෝලයෝ ඔබේ සමෘද්ධි බැංකුවත් කොල්ල කනවා.

ඒ අතරේ තවත් පිරිසක් රට බෙදන ව්‍යවස්ථාවක් එනවා, ඒ නිසා රට බේරා ගන්න පුළුවන් එකම නායකයා මහින්ද කියමින් ප්‍රාදේශීය සභා බලය අපට දෙන්න කියලා ඉල්ලනවා. මොකද ඒ අයට ව්‍යවස්ථාව ඉදිරියට දාගන්නවා හැරෙන්න වෙන සටන් පාඨ නෑ. ජනතාව ඉදිරියට ඇවිල්ලා රටේ
දූෂණය හොරකම නවත්වනවා කියලා කියන්න ඔවුන්ටත් බැහැ. මොකද ඒ අයත් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් හොරකම් කරලා ඉන්නේ.

මහින්ද මහත්තයලගේ පක්‍ෂයේ හිටපු මේ පොල්පිතිගම, ඉබ්බාගමුව වගේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගෙ ගෙවල් දැක්කාම හිතා ගන්න පුළුවන් කාල තියෙන කෑම. මෙහෙ විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනම එහෙම තමයි. මේ සභාපතිවරුන්ට කාර් නෑ. තියෙන්නේ කැබ් රථ. මොකද ගල් කොරියට, වැලි ප්ලාන්ට් එකට යන්න කාර්වලින් බෑ. මේ අයගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට තියෙන්නෙ ටිපර්. මොකද වැලි, ගල් අදින්න.

අපේ මාධ්‍යවල අද ප්‍රධාන ප්‍රවෘත්ති වෙලා තියෙන්නේ මහින්ද - මෛත්‍රි එකතු වෙයිද? මේ පක්‍ෂයේ අනෙක් පැත්තට පනින්නේ කවුද? කියන දේවල්. නමුත් මේවා ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. මහින්ද - මෛත්‍රි වෙන්වෙලා හිටියත් එකට හිටියත් ජනතාවට වෙන සෙතක් නෑ. අවාසියකුත් නෑ. මේ දෙන්නයි රනිල් වික්‍රමසිංහයි තුන්දෙනාම එකට එකතු වුණත් අමුතුවෙන් වෙන දෙයක් නෑ. කොහොමටත් ඒ අය එකටයි ඉන්නේ. මේ අය ඉන්නේ එකම කඳවුරක. ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර ගැටුම් නැහැ.

මහින්ද මහත්තයගෙ දේශප්‍රේමි බළකායේ නාවලපිටියේ ඉන්නවා දේශප්‍රේමියෙක්. පාපැදියෙන් දේශපාලනයට ආවේ. දැන් නාවලපිටියේ, නුවර, කොළඹ, කටුනායක විතරක් නෙවෙයි එංගලන්තයේ පවා ගෙවල් තියෙනවා. රට හැමතැනම ඉඩම්. කළුතර දේශප්‍රේමියෙක් ඉන්නවා. එයත් එහෙම තමයි රියැදුරෙක් විදියට පාපැදියෙන් ගියේ. ලක්‍ෂ හාරසිය විස්සක ධනයක් උපයා ගත්ත විදිය කියන්න බැරුව මෙයා උසාවියට කැඳෙව්වා මහින්ද මහත්තයාගේ කාලේ. නයෙක් ගැහුවා කියලා උසාවිය මඟහැරියා. එයා උසාවියට කැඳවපු අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ මාරු කළා. හොරා බේරුණා. විනිසුරුට දඬුවම් කළා. විමල් වීරවංශ කියන්නත් ලැජ්ජයි. මිනිහ ඇමැතිකම් කරපු කාලේ ආදායම රුපියල් ලක්‍ෂ දෙසිය හතළිස් අටයි. මිනිහගෙ වත්කම රුපියල් ලක්‍ෂ හත්සිය හතළිස් අටයි. රාජපක්‍ෂ පවුලේ බැසිල්, නාමල්, යෝෂිත, ශිරන්ති මේ හැම කෙනාගෙම පැටිකිරිය මේ වගේ තමයි.

හිරියාල - කේ.පී. සුනිල්, යාපහුව - බණ්ඩාර හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon