මෛත්‍රිව ජනපති කළේ මේ රටේ වෙනසක් කරන්නයි

  👤  3191 readers have read this article !
By mawbima 2017-12-08

ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විවිධ පාර්ශ්ව හා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන නමුත් වත්මන් ආණ්ඩුව ලේසියෙන් කඩා වැටෙන්නේ නැති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
සමහර පත්තරවල තියෙන නොයෙකුත් කතා බැලූවිට සමහරු හිතනවා දැන් මේ ආණ්ඩුව කඩා වැටෙන්න ළඟයි කියලා. ඔය කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. පක්ෂ දෙක ඇතිකරගත් ගිවිසුම මේ මාසයේ නිමාවත් එක්ක කෙළවරට ඇවිත් කියලා සමහරු සිහින මවාගෙන ඉන්නවා ඇති. එවැනි සාකච්ඡා නොයෙකුත් අන්දමින් යනවයි කියලත් ආරංචියි. අපි ඔක්කොම ජනාධිපතිවරයා පත් කිරීම සඳහා විශාල වෙහෙසක් දැරුවා. හිටපු ආණ්ඩුවෙන් ඉවත්වෙලා අපි මේ ප්‍රයත්නය ගත්තේ මේ රටේ වෙනසක් ඇති කරන්න. ඇතිවෙච්ච වෙනස පිළිබඳව නොයෙකුත් විවේචන තියෙනවා.

නමුත් මේ රටේ දූෂණ වංචාව පිළිබඳ සොයා බලන්නත් ඒ පිළිබඳව විමර්ශනය කරන්නත් අපි ඇති කරපු මේ පරිසරය උදවු වුණා කියන එක අපි කවුරුත් පිළිගන්න ඕනෑ. පාර්ලිමේන්තුව තුළත් වෙනස්කම් ඇතිවී තිබෙනවා. අපේ පාර්ලිමේන්තු කාරක සභා මීට කලින් තිබුණට වඩා රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලනවා. කලින් එවැනි දේවල් සිදුවුණේ නැහැ. වැදගත් පාර්ලිමේන්තු කාරක සභාවලදී විපක්ෂයේ අයට සභාපති ධුර ලබාදුන්නේ නෑ. කෝප් කාරක සභාවේ සභාපති ධුරය අපි ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නා. ඒ කෝප් කාරක සභාවේ මාත් සභිකයෙක්. ඒ තුළින් දැන් ඇති වූ හානි පිළිබඳව සමහරු කතා කරනවා. ඒක හානියක් හැටියට මම නම් දකින්නේ නෑ. ඒ වෙනස්කම් ඇති කළේ අපි. පාර්ලිමේන්තුවේ කාර්ය භාරය හරියට ඉටුවිය යුතුයි. ඇමැතිවරුන්ද වරදක් කළා නම් ඒවා විමර්ශනය කළ යුතුය. දූෂණයක් වුණා ඊට දඬුවම් දීමේ හැකියාව ඒ ඒ ආයතනවලට තිබිය යුතුයි. ඊට සම්පූර්ණ සහාය ලබාදීමටත් කැපවී සිටිනවා.

දැන් යම් යම් දේවල්වලට මාධ්‍ය සමහරු චූදිතයෝ කරනවා. චූදිතයෝ හැටියට හුවා දක්වන කාලවකවානුවක අපි ජීවත් වෙන්නේ. එය වැරැදි දෙයක්. නඩු විභාග කිරීමට උසාවියක් තියෙනවා. ඉන් අපරාධකරුවන් හැටියට තීන්දු වුණා නම් ඒක වෙනම දෙයක්. නමුත් අද මාධ්‍යට නිදහසේ වාර්තා කරන්න ඉඩදීලා තියෙනවා. එදා මෙවැනි ආකාරයට හැසිරුණා නම් මොනවා වෙයිද..? මුලින්ම සුදු වෑන් එයි. ඊට පස්සේ කර්තෘවරු අතුරුදහන් වේවි. ඒ මාධ්‍යවේදියා හොයාගන්නත් බැරිවෙයි. නමුත් මේ කාලේ එහෙම වෙන්නේ නෑ. ඒ වෙනස පිළිබඳව ආඩම්බර වෙනවා.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon