මෛත්‍රිට දිගම්බරන්ට ස්වාමිනාදන්ට ජවිපෙන් රතු එළියක්

  👤  3253 readers have read this article !
By mawbima 2017-12-08

පළාත් පාලන මැතිවරණ උණුසුම මේ වන විට පාර්ලිමේන්තුවටද දැනෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයන් පමණක් නොව උතුර, නැඟෙනහිර පළාත්වල දෙමළ, මුස්ලිම් දේශපාලන පක්‍ෂවල ජනතා නියෝජිතයන්ද කඳුකරයේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවකි.

මෙම මැතිවරණ උණුසුම සමඟ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් සූදානම් වන ආකාරය ගැනද දේශපාලන ක්‍ෂේත්‍රය තුළ පවතින්නේ දැඩි උනන්දුවකි.
මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් හා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙකු අතරද රහස් සාකච්ඡා ආරම්භ වී තිබේ.

මෙම ඇතැම් සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණයේ යම් ස්ථානයකත් ඇතැම් සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතත් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පෙරේදා සහ ඊයේ දින මෙවැනි රහස් සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණයේ යම් ස්ථානයක සිදුවී ඇත. මෙම සාකච්ඡා සිදුකෙරෙන්නේ පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම පිළිබඳව කොන්දේසි සාකච්ඡා කිරීමටද? නොඑසේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වීමටද? නොඑසේ නම් ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිපදෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතුවී ආණ්ඩුවට සහයෝගය ලබාදීමටද කියා නිශ්චිත වශයෙන් තවම ප්‍රකාශ කිරීමට නොහැකිය.
මේ අතර මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් තවත් සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටය.

ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉදිරිපත්වී තිබෙන කොන්දේසි ගැන තවදුරටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වී තිබෙන කොන්දේසිද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම පිරිසගේ අරමුණ වී තිබේ.
විද්‍යා, තාක්‍ෂණ, පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර මෙම සාකච්ඡාව සිදුවේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර 2018 අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ දිනයේද පැවැත්විණි.
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංස්කරණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ දින විවාදයට ගැනිණි.

මෙම විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් දැවැන්ත ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කළේය.
ඔහු කෙතරම් ප්‍රහාරයක් එල්ල කළාද කීවොත් ඔහු කීවේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනෙකු මේ දැන් ඉල්ලා අස්විය යුතු බවයි. නොඑසේ නම් මෙම අමාත්‍යවරුන් තිදෙනා වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කෙළේය.
එසේ අස්කළ යුතු අමාත්‍යවරුන් වශයෙන් බිමල් රත්නායක මහතා නම් කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කඳුරට නව යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් හා ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ටයි.
'මේ අමාත්‍යවරුන් තුන්දෙනාගෙන්ම වැඩක් නැහැ' මේ කතා කරන වෙලාවෙත් කවුරුත් නැහැ' යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය. ඒ අවස්ථාවේදී එම අමාත්‍යවරුන් තිදෙනාගෙන් මැතිසබයේ සිටියේ ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයා පමණි.
'මන්ත්‍රිතුමා ඇමැතිවරුන් මේ සභාවේ ඉන්න එපැයි කවුරුත් නැහැ යනුවෙන් ආණ්ඩු පක්‍ෂයේ පිටුපස සිට හයියෙන් කෑගසමින් බිමල් රත්නායක මන්ත්‍රිවරයාට සහයෝගයක් ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාය.

'මේ ඇමැතිවරුන් හිටියත් වැඩක් නැහැ. ඒක නිසා මං කැමැතියි පුටුවලට කතා කරන්න. මේ ඇමැතිවරුන්ට කතා කරනවට වඩා හිස් පුටුවලට කතා කරන එක හොඳයි. මේ ඇමැතිවරුන් නැති වුණාට ඔබතුමා අහගෙන ඉන්නවානේ ගරු කතානායකතුමා' යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

රීති ප්‍රශ්නයක් මතු කරමින් ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයා යම් පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ ගත්තද බිමල් රත්නායක මන්ත්‍රිවරයාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත.
'මේ තියෙන කරුණු හැටියට ඔබතුමාට හැම තිස්සේම පැහැදිලි කරන්න වේවි. එතකොට දිගටම නැඟිටලා ඉන්න වේවි' යනුවෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කෙළේය.
බන්ධනාගාර අමාත්‍යාංශයට වෙන්කරපු මුදල්වලින් 49%ක්ම වියදම් කරලා නැහැ. උතුරේ නිවාස 65,000 ව්‍යාපෘතිය කරන්න මේ අමාත්‍යාංශයට බැරිවුණා. ඇමැතිතුමයි නිලධාරි කට්ටියයි අවුරුදු 3ක්ම පොල් ගෑවා. ඒක නිසා දැන් එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ යටතට පවරාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ යටතට එම නිවාස ව්‍යාපෘතිය පවරා ගැනීම ගැන බය හිතෙනවා. මොකද ජනාධිපතිතුමාගේ එක් අමාත්‍යාංශයක පසුගිය වසරේ වියදම් කරලා තියෙන්නේ 9%යි යනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රිවරයා විසින් චෝදනා කරන ලදී.
මීට ප්‍රතිචාර දක්වමින් ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයා කියා සිටියේ අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මන්ත්‍රිවරයා සභාව නොමඟ යවන බවයි.
"අවාසනාවකට බිමල් රත්නායක මන්ත්‍රිතුමා ඉදිරිපත් කරපු සියලුම සංඛ්‍යාලේඛන බොරු. 2016 වර්ෂයේ නිවාස 11000ක් හැදුවා. 2017 වර්ෂයේ නිවාස 9000ක් හැදුවා. තව නිවාස ආධාර ලබාදෙනවා. නිවාස අලුත්වැඩියා කරනවා. අපේ අමාත්‍යාංශයේ මුදල් 93%-95%ක් අතර ප්‍රමාණයක් වැය කරලා අදාළ සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා" යනුවෙන් ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"මේ සංඛ්‍යාලේඛන මං ගන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයෙන්. එම තොරතුරු නිවැරැදියි" යනුවෙන් බිමල් රත්නායක මහතා පැවැසීය.
"ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය වියදම් කරලා තියෙන්නේ අමාත්‍යාංශයට වෙන්කරපු මුදලෙන් 9%යි. තමන්ට මේක කරගන්න බැරි නම් මේ ජනාධිපතිකම මොකටද? අපිට පුද්ගලයන් වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ තනතුර. ලැජ්ජා වෙන්න ඕන" යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා චෝදනා කළේය.

මෙසේ දිගට හරහට දෙහි කැපූ බිමල් රත්නායක මන්ත්‍රිවරයා හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සිහිපත් කර ඒ මහතා අගය කිරීමට ලක් කිරීමද විශේෂත්වයකි.
"ඉන්දියාවේ හිටපු 28,500කට මෙරට පුරවැසි භාවය ලබා දෙන්න මටයි, රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයාටයි හැකිවුණා. ඒ සඳහා මැදිහත් වුණේ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා. ඒ ගැන මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි" යනුවෙන්ද බිමල් රත්නායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ මැතිසබයේ පිහිටි අගමැතිවරයාට වෙන්කර තිබෙන ආසනයේ කැබිනට් අමාත්‍යවරයකු ඊයේ අසුන් ගත්තේය. එසේ අසුන් ගත්තේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාය.
ලිපි ගොනුවක් රැගෙන මැතිසබයේ ඉදිරිපෙළ ආසන වෙත පැමිණි මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවීමටයි.

කිරිඇල්ල අමාත්‍යවරයා අසුන්ගෙන සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආසනයට යාබද ආසනයේය. ලිපි ගොනුව රැගෙන පැමිණි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා බර කතාබහකට මුලපුරමින් හරිබරි ගැසී අසුන් ගත්තේය. කිරිඇල්ල ආමාත්‍යවරයා සමඟ කතා කරමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අසුන් ගත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට වෙන්ව තිබෙන ආසනයේය.

මැතිසබය තුළ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට වෙන්කර තිබෙන එක ළග පිහිටි ආසන දෙකෙහි සාමාන්‍යයෙන් කිසිවකු අසුන් ගන්නේ නැත. ඒ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට තිබෙන ගෞරවය හේතුවෙනි. සාමාන්‍ය සම්ප්‍රදාය එය වුවද ඒ අවස්ථාවේදී එය අමතක වීම නිසා මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මෙසේ අග්‍රාමාත්‍යවරයාගේ ආසනයේ මෙසේ අසුන් ගන්නට ඇත.

ටිකක් වෙලා කතාකර සිටි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා එම ආසනයෙන් නැඟිට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ වම්පස පැත්තට වෙන්ව පිහිටි අසුනේ අසුන් ගත්තේය. තමා අගමැතිවරයාගේ ආසනයේ අසුන්ගෙන සිටින බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට සිහිපත් වෙන්නට ඇත. නොඑසේ නම් ඒ ගැන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිහිපත් කර දෙන්නට ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් යම් කලකිරීමකින් සිටින ආකාරයක් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී දැකගත හැකිවිය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධ ගැටලු කිහිපයක් මෙම කලකිරීමට හේතුව වී තිබේ. මේ ගැන එම මන්ත්‍රිවරිය විසින් පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනකුටම කරුණු පැහැදිලි කරන ලදී. මෙසේ කලකිරීමට පත්ව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියයි.

පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැමිණෙන විට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා මුණගැසුණේය.
"මොකද? බැඳුම්කර ජනාධිපති කොමිසමට වෙන්නේ" බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා විමසීය.
"ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට ජනාධිපතිතුමාට භාර දෙනවයි කියලා කියනවා. භාරදුන්නට පස්සේ අවශ්‍ය පියවර ජනාධිපතිතුමා ගනීවි" යනුවෙන් ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්පසුව දෙදෙනාම කතාබහ කරමින් බිම් මහලේ විදුලි සෝපානය අසලට පැමිණියහ. ඒ අසලට ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතාද පැමිණියේය. ඉන්පසුව තිදෙනාම කතාබස් කරමින් විදුලි සෝපානයට ඇතුළු වූ අතර විදුලි සෝපානයේදී ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ කරට අත දාගෙන කතාබස් කළේය.

මේ අතර ඊයේ පැවැති විවාදයේදී බොහෝ දෙනකු කතාකළ බන්ධනාගාරයක් විය. එය හැඳින්වූයේ සුපිරි හෝටලයක් වැනි සුපිරි බන්ධනාගාරයක් යනුවෙනි. සුපිරි සිපිරි ගෙය කුමක්ද? එය මෑතකදී විවෘත කරන ලද අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයයි.
සියලු පහසුකම් සහිත මෙම සුපිරි බන්ධනාගාරය තුළින් මිනිසුන් යහමඟට ගැනීම සඳහා හොඳ හැකියාවක් තිබෙන බව ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම පෙන්වා දුන්හ.
මෙම සුපිරි බන්ධනාගාරයට ගිය පළමු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වශයෙන් වාර්තා පොත් අතරට එක්වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්ත රණවීර මහතාය.

"හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව විරෝධතා දැක්වීම නිසා මට බන්ධනාගාර ගතවීමට සිදුවුණා. අඟුණුකොළපැලැස්ස සුපිරි බන්ධනාගාරයට ගිය පළමු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මමයි. ඊට පෙර තංගල්ල බන්ධනාගාරයේ මං සමඟ නාමල් රාජපක්ෂ, ඩී. වී. චානක මන්ත්‍රිතුමන්ලාත් බන්ධනාගාර ගත වෙලා හිටියා" යනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්ත රණවීර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ මැතිසබයේදී තම ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පය පැටලී වැටෙන්නට ගොස් බේරුණේ යාන්තමිනි.
බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා විවාදයට එක් වන විට ඊට යාබද අසුනේ සිටි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වූ නිසා කතාබහට බාධා නොවන ලෙස එම ස්ථානයෙන් ඉවත්වීමට යෑමේදී සුජීව සේනසිංහ මහතාගේ පය පැටලුණේය. පය පැටලුණත් වැටුණේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon