තහනම් වල් නාශක තොගයක්, තාරකා ඉබ්බන් 1200ක් කල්පිටිය දූපතකට ගොඩබාලා

  👤  3190 readers have read this article !
By mawbima 2017-12-08

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

මෙරට භාවිතය තහනම් කර ඇති අධික විස සහිත ග්ලයිපෝසේට් නමැති වල් නාශක තොගයක් සමඟ තාරකා ඉබ්බන් තොගයක් පෙරේදා (6දා) පස්වරුවේ හදිස්සියේ සිදු කළ සෝදිසියකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කල්පිටිය පොලිසිය කියයි.
ධීවර යාත්‍රාවකින් ගෙන ආ බව කියන කිසියම් පාර්සල් තොගයක් කල්පිටිය තිල්ලෙයිඅඩි කළපු නිම්නය අසල විශාල පොල් වත්තකට ගොඩ බෑ බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ක්ෂණිකව එම දූපත කරා ගොස් ඇත.

ඒ වන විට එහි කිසිවකු නොසිටි අතර එම පොල් වත්ත පාළුවට හැර තිබූ බවත් කියයි. මේ නිසා වත්ත පුරා අස්සක් මුල්ලක් නෑර සෝදිසි කර බැලීමේදී එක් ස්ථානය සඟවා තිබූ පාර්සල් කිහිපයක් සොයා ගනු ලැබූ අතර එම පාර්සල්වල ග්‍රෑම් 100 බැගින් වන කුඩා පැකට් 540ක් තිබූ බවත් පොලිසිය කියයි.
මේ අතර පොල්වත්තේ වෙනත් ස්ථානයක සඟවා තිබූ තාරකා ඉබ්බන් 1200ක් සොයා ගන්නා ලදී. මෙම ඉබ්බන් ශ්‍රී ලංකාවේ ජීවත් වන තාරකා ඉබ්බන්ට වඩා ප්‍රමාණයෙන් ඉතා කුඩා බවත් කියයි. මෙම ඉබ්බන් ඉන්දියන් ස්වාර් ටෝර්ටිස් නමැති වර්ගයට අයත් වන බවත් කියයි.

කෙසේ වෙතත් කල්පිටිය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගෙන සිදු කෙරෙන හොර බඩු ජාවාරමට සම්බන්ධ පිරිසක් මෙම තාරකා ඉබ්බන් හා වල් නාශක තොගය බෝට්ටු මඟින් හොර රහසෙන්ම මෙරටට ගෙනැවිත් මෙම දූපතේ පොල් වත්තේ සඟවා තබා ගෙන ඇති බවත් විශ්වාස කෙරේ.

කල්පිටිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon