එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘ක්ලේමෝ පාක්‍යන්’ ඇතුළු 7කට බරපතළ වැඩ සහිත වසර 56 බැගින් වූ සිර දඬුවම්

  👤  3212 readers have read this article !
By mawbima 2017-12-08

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි වෛද්‍යවරයකු ඇතුළු දේශීය සංචාරකයන් හත්දෙනකු ගමන් කළ කැබ් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා අටකට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නම් දැරූ ක්ලේමෝ බෝම්බ පුපුරවා හරින්නකු වූ ක්ලේමෝ පාක්‍යන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට වසර පනස් හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබාදෙන ලෙස හිටපු විශේෂ මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) හා වර්තමාන උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළේය.
පූර්වගාමී විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබූ අධි චෝදනා අටකට වසර හත බැගින් වසර 56ක සිර දඬුවම් එකවර ගෙවීයන ලෙස ලබා දෙන්නැයි නියෝග කළේය.

මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයන් හත් දෙනකු වූ සිමියොන් සන්දරයෝගු නොහොත් ක්ලේමෝ පාක්‍යම්, රාගවන් සුරේෂ් නොහොත් පුදියවන්, සිරිල් රාසමනී නොහොත් සීරාලන්, සින්නප්පන් පාක්‍යනාදන් නොහොත් පාක්‍යම් අයියා, මුත්තු මරික්කාර් අබ්දුල් සලීම් නොහොත් සලීම් අයියා, සාන්දන් ස්ටැනිස් රමේෂ් නොහොත් වල්ලුවන්, නඩරාසා සරවනබවන් නොහොත් සීට්ටු යන විත්තිකරුවන්ටය. ඔවුන් මන්නාරම, වවුනියාව, පුත්තලම හා චාවකච්චේරි යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. විත්තිකරුවන් 2011 වර්ෂයේදී මහනුවර මධ්‍යම පළාත් ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර හයකට වැඩි කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

මෙම නඩුවේ සිවුවැනි විත්තිකරු වන සින්නප්පන් පාක්‍යනාදන් නොහොත් පාක්‍යම් අයියා යන හිටපු ත්‍රස්තවාදී සාමාජිකයාට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 241 වගන්තිය ප්‍රකාරව වවුනියාව මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

විත්තිකරුවන් විසින් වර්ෂ 2006 මැයි මස පළමු වැනිදා සිට මැයි මස 26 වැනිදා දක්වා කාලය තුළදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළුවී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමාජිකයන් හෝ අපරාධකරුවන් ලෙස පෙනී සිටිමින් දේශීය සංචාරකයන් ගමන් කළ කැබ් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමට එක්ව ක්‍රියා කිරීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම හා වර්ෂ 2006 මැයි මස 27 වැනිදා බෝම්බ ප්‍රහාරය එල්ල කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ) හා 102 වගන්තිය සමඟ කියැවෙන වර්ෂ 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනතින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) 2(1)(උෟ) වගන්තිය සමඟ කියවිය යුතු 3(අ) සහ 3(ආ) වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

ත්‍රස්තවාදීන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කොක්මොටේ ගඟ ප්‍රදේශයේ පිහිටි කට්ටාරම්බු විල ප්‍රදේශයේ සැඟවී කැබ් රථය ඉලක්ක කර අධි බලැති ක්ලේමෝ බෝම්බය පුපුරවා හැර වෛද්‍යවරයා ඇතුළු දේශීය සංචාරකයන් හත්දෙනකු ඝාතනය කර තිබිණි. බෝම්බ ප්‍රහාරයෙන් නිහාල් සිල්වා, නන්ද අබේසූරිය, දිසානායකගේ අනුර දිසානායක, හෙන්ද්‍රි ඊවා අබේසූරිය, චන්ද්‍රන් ආශිර්වාදන්, ඩැරල් චාල්ස් පෙරේරා හා අනුලා ආශිර්වාදන් යන පිරිස මරණයට පත්වූහ.

නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ හිටපු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමාජිකයකු වන සිමියොන් සන්දරයෝගු නොහොත් ක්ලේමෝ පාක්‍යම් නමැත්තා ප්‍රහාර සම්බන්ධයෙන් පාපෝච්චාරණය කරමින් කියා තිබුණේ මෙම ප්‍රහාරය යුද හමුදා කැබ් රථයක් බවට ලැබුණු වැරැදි තොරතුරු මත අත්වැරැදීමකින් එල්ල වූවක් බවයි.
එම අවස්ථාවේ ප්‍රහාරයට අණදුන් කමාන්ඩර් පහිදරන් නමැත්තා ලබාදුන් වැරැදි තොරතුරකට අනුව පිපිරවීම සිදුකළ බවත් එම කැබ් රථයේ වෛද්‍යවරයකු ඇතුළු පිරිසක් ගමන් කර ඇති බව පසුව දැනගත් බවත් ඔහු පවසා තිබිණි.

මෙම සිද්ධියෙන් පසුව ප්‍රහාරයට වැරැදි අණක් දුන් කමාන්ඩර් පහිදරන් නමැත්තා ඇතුළු පිරිසට එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායකයා විසින් මාස හයක සිර දඬුවමක් නියම කළ බවත් ප්‍රහාරයෙන් පසුව මියගිය වෛද්‍යවරයා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයකු නිසා තමන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව දැඩිව කනගාටු වූ බවත් පාපෝච්චාරණයේ සඳහන් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon